Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දිවයිනට පැමිණි විදේශීය පාපන්දු පුහුණුකරුවන් තිදෙනාට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ලබා දී තිබෙන ආසන්නම ඉලක්කය වන්නේ ජුනි 18 වැනිදා උස්බෙකිස්ථානයේ ‘තමාන්ගන්’ නුවරදී ආරම්භ වන ආසියානු කුසලාන (2023) නිර්දේශිත තෙවැනි තරග වටයේදී මාලදිවයින පරාජය කිරීමයි.
දෙරට අතර එම තරගය ජුනි 14 වැනිදා පැවැත්වීමට නියමිතය. නව විදේශීය පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ සේවය බාර ගෙන දින කිපයක් පමණක් ගෙවී ඇති බැවින් එහිදී මාලදිවයින සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් ශ්‍රී ලංකාව යම් සෑහීමකට පත් කෙරෙන සිදුවීමක් වන බව පාපන්දු නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.
එහිදී මාලදිවයින සමග තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වන විශේෂ පාරිතෝෂික (බෝනස්) දීමනාවක් ගෙවීමටද කටයුතු කෙරේ.
අසුව දශකයේදී ශ්‍රී ලංකාවෙන් ගුරුහරුකම් ලබා ගනිමින් ක්‍රීඩාවට පිවිසි මාලදිවයින පසුව කලාපයේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්රබලතම ප්‍රතිවාදියෙකු බවට පත්විය. පසුකාලීනව දෙරට මුණගැසුණු ජාත්‍යන්තර තරග බහුතරයකදී ශ්‍රී ලංකාවට පරාජයේ අහිමිර අත්විඳීමට සිදුවීමද කැපී පෙනේ. කෙසේවුවත් දෙරට අවසන් වරට මුණගැසුණු 2021 නොවැම්බර් 9 වැනිදා කොළඹදී පැවැති අගමැති කුසලතා සිව්කොන් පාපන්දු තරගය ගෝල 4-4 කට ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ.
කටාර් රාජ්‍යයේ ‘ඇස්ෆයර්’ පාපන්දු විද්‍යායතනයේ (ඇකඩමියේ) සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ සේවයට ලබා ගත් විදේශීය පුහුණුකරුවන් තිදෙනාගෙන් ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරියන් මහතා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන උපදේශක පුහුණුකරු ලෙස වැඩ බාර ගත්තේය. සහය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කින් ස්ටිවන්ස් මහතාට පැවරී ඇත්තේ දැල් රකින්නන්ගේ පුහුණුවීම් මෙහෙයවීමය.
මේ අතර ශ්‍රී ලංකාවට ආගන්තුකයෙක් නොවන බ්‍රසීල ජාතික මාකොස් පෙරෙසිරා, මහතාට ශ්‍රී ලංකා කණ්ඩායම් ශාරීරික අභ්‍යාස පුහුණුකරු ධුරය පිරිනමා තිබේ. මීට පෙර ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම් සේවයට කැඳවූ ෆෙරෙයිරා මහතා වසර 2000-04 කාල සීමාවේදී මෙරට ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබේ.
ඔහුගේ පියා වන ජෝර්ජ් ෆෙරෙයිරා මහතාද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස 1993-95 සමයේදී කටයුතු කළේය. එහිදී ශ්‍රී ලංකාව 1995 සාක් රන් කුසලාන දිනා ගැනීම අද වන විට වසර 27 ක් දක්වා නොබිඳුණු වාර්තාවකි.
නව ජාතික පාපන්දු ප්‍රධාන උපදේශක 51 හැවිරිදි ඇන්ඩි මොරිසන් මහතා එංගලන්තයේ ‘මැන්ජෙස්ටර් සිටි’ හා ක්‍රිස්ටල් පැලෑන් යන සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ දෙකේ ක්‍රීඩා කර තිබේ. එහිදී ටැන්මෙන්ටර් සිටි පිලේ නායකත්වයද දරා තිබේ. යුරෝපයේ පාපන්දු සම්මේලනයේ ඉහළම බලපත්‍රලාභී, පුහුණුකරුවෙකු වන අතර ඔහු පුහුණුකරු ධුරය දැරූ කොනසකි නොමෑඩ්ස් කණ්ඩායම වේල්ස් අන්තර් සමාජ ලීග් පාපන්දු ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.
එංගලන්ත පාපන්දු ලීගයේ දිගුකලක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු සහය පුහුණු උපදේශක වන 57 හැවිරිදි කින් ස්ටීවන් මහතා ඕස්ට්‍රේලියාණු පාපන්දු (කාන්තා) ලීගයේ හා ශූරතාව වරක් දිනූ ‘ප්රිස්බේන්ජෝර්’ ක්‍රීඩා සමාජයේ සහය පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ.
මේ හැරෙන්නට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා තවත් විදේශීය සහාය පුහුණුකරුවකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර ඇත.
ඒ සඳහා නිර්දේශිත අයදුම්පත් දෙකක් කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇතැයි පාපන්දු ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ සේවයට කටාර් රාජ්‍යයේ සම්බන්ධීකරණයෙන් බඳවා ගත් සියලු විදේශීය පුහුණුකරුවන් වසර තුනක (3) කොන්ත්‍රාත් සේවා කාලයකට බඳවා ගැනීම සිදු කර තිබේ. ඒ සඳහා අනුග්‍රාහය කටාර් ඇස්ෆසර් පාපන්දු ඇකඩැමියෙනි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී මෙම විදේශීය පුහුණුකරුවන් සඳහා නේවාසික හා ප්‍රවාහන පහසුකම් පමණක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විසින් දරණු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.