Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රුසියාවේ ඉල්ලීම වීසිකරයි
පාපන්දු ලෝක කුසලාන - 2022

රුසියාවේ ඉල්ලීම වීසිකරයි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් රුසියානු පාපන්දු කණ්ඩායම් වෙත පනවන ලද තහනම් නියෝග වළක්වාලන්න’යි රුසියාව විසින් කරන ලද ඉල්ලීමක් ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පිහිටි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය විසින් ඉවත දමනු ලැබ තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් රුසියානු පාපන්දු කණ්ඩායම් වලට තහංචි පනවනු ලැබ තිබිණ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් රුසියානු පාපන්දු කණ්ඩායම් වෙත පනවන ලද තහනම් නියෝග වල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ. එහෙත් මෙම තීන්දුව තවත් සති කිහිපයක් යනතුරුත් නොලැබෙනු ඇත.

“රුසියානුවන් විසින් අභියෝග කරන ලද නියෝගය තවමත් බලාත්මකයි. ඒ අනුව, රුසියාවේ කිසිම  පාපන්දු කණ්ඩායමකට හෝ ක්‍රීඩා සමාජයකට, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් සංවිධායන කරනු ලබන තරගාවලියකට සහභාගි විය නොහැකිය” යයි ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය අද (18 වැනිදා) නිවේදනය කළේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තහංචියට එරෙහිව රුසියාව අභියාචනයක් ඉදිරිපත් කළේ මේ මස 24 වැනිදා (ලබන බ්‍රහස්පතින්දා) පෝලන්තයට එරෙහිව පැවැත්වෙන 2022 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයකට ඉදිරිපත් වීමේ අටියෙනි. එහෙත් මාර්තු 29 වැනිදා පැවැත්වීමට නියමිත තවත් තීරණාත්මක තරගයක් වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පෝලන්තයට නිතරග ජයක් ලබාදී තිබේ.

මාර්තු 25 වැනිදා ස්වීඩනය සහ චෙක් ජනරජය අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් සමග මාර්තු 29 වැනිදා පෝලන්තය තරග වැදීමට නියමිතය.

රුසියාව පැත්තකට කර තැබීමට ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය දුන් තීන්දුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සැනසීමට හේතුවී තිබේ. මක්නිසාද යත් පෝලන්තය, ස්වීඩනය හෝ චෙක් ජනරජය දැනට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රුසියාව හා තරග කිරීම ප්‍රතික්ෂේප කළ හැකි බැවිනි.

ලෝකයේ අනෙකුත් ක්‍රීඩා සම්මේලන අවධාරණය කරන්නේත් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහංචි පැනවිය යුතු බවයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශය වී ඇත්තේත් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන විසින් රුසියානු කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නෙරපාදැමිය යුතු බවයි.

මලල ක්‍රීඩා, අයිස් හොකී, රග්බි, පැසිපන්දු, පාපැදි, හිම මත ලිස්සා යාම සහ කඳු නැඟීමේ අන්තර්ජාතික සම්මේලන විසින් මේ වන විටත් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නෙරපා හැර තිබේ. ටෙනිස්, මල්ලවපොර සහ ජූඩෝ යන අන්තර්ජාතික සම්මේලන විසින් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමට අවසර දී ඇතත්, ඒ රුසියානු ධජය යටතේ නොව, සුදු පැහැ කොඩියක් වෙනුවෙනි.

රුසියාව හා එක්ව සිටින බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තහංචි පැනවී තිබේ.

- 213


අදහස් (0)

රුසියාවේ ඉල්ලීම වීසිකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.