Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වගන්ති 11 ක් වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

වගන්ති 11 ක් වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලධාරින්ගේ තනතුරු දැරීමේ කාල සීමාවට සීමා පැනවීම ජාතික ක‍්‍රීඩා සංගම් බොහෝමයකට ප‍්‍රශ්නයක් වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ උත්සාහය වන්නේ සංශෝධිත ක‍්‍රීඩා පනතේ මතභේදයට තුඩු දුන් වගන්ති 11 ක් ඉවත් කර ගැනීම බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම උත්සාහයට තවත් කාලයක් ගත විය හැකි බැවින් මැයි 15 වැනිදායින් පසු මෙරට ජාතික ක‍්‍රීඩා සංගම් ගණනාවකට නැවතත් නිලවරණයක් පැවැත්වීමට සිදු වනු ඇතැයි ‘ලංකාදීප’ ය කළ විමසුමකදී හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මෙසේද පැවසීය.

”අපි කියන්නෙ මේ එක වගන්තියක් ගැන නොවේ. මතභේදයට තුඩුදුන් වගන්ති 11 ක් මෙකේ තිබෙනවා. ඒ සියල්ල ඉවත් කළ යුතුයි”

”ඒ සඳහා අපි කටයුතු කර ගෙන යනවා. දැන් මේ නිලධාරින්ට ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු දැරීම වසර හතරකට සීමා කිරීමේ වගන්තිය ගැනත් අපි මීට බොහෝ කලකට පෙර පෙන්වා දුන්නා. නමුත් බොහෝ ජාතික ක‍්‍රීඩා සංගම් ඒක අවබෝධ කර ගත්තෙ නෑ”

ඒ වෙනුවට වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා තවත් කීප දෙනෙකු එකතු කරගෙන ඔලිම්පික් කමිටුවට එරෙහිව ව්‍යාපාරයක් ගෙන ගියා. දැන් එයාලට වැරදුණාට පස්සෙ මේ ගැන කතා කරනවා. අපි මේ ගැන තම තමන්ගේ ජාත්‍යන්තර මවු සංගම් වලට ලියන ලෙස ඔය හැම ජාතික ක‍්‍රීඩා සංගමයකටම උපදෙස් දුන්නා. නමුත් එදා ඒක තේරුම් නොගත් ඔවුන් දැන් කලබල වෙලා දඟලනවා”

”ඔය වගන්තිය ගැනත් ජාතික ඔලිම්පික් කමිටුව එදා හොඳ අවබෝධයක් ලබා තිබුණු හින්දයි ඔවුන්ට මම උපදෙස් ලබා දුන්නේ”යයි හේමසිරි ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් නොතකා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ මස 15 වැනිදා එහි නිලවරණය කැඳවීමට සූදානම් වන බවක්ද වාර්තා වේ. එහිදී නිලවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ කලින් ඉදිරිපත් කළ නාමයෝජනා බවත් කී‍්‍රඩා පනතේ ඇතැම් වගන්ති එහිදී නොසලකා හැරෙන බවත් දැනගන්නට ඇත.

සංශෝධිත ක‍්‍රීඩා පනතේ තනතුරු දැරීමේ කාල සීමාවට ‘නියෝජ්‍ය සභාපති’ තනතුර ඇතුළත් කර නොමැති බැවින් එහි සිවු වසරකට වඩා ගත කළ නිලධාරින්ට යළිත් තරග වැදීමේ අවස්ථාවට නීතියෙන් බාධාවක් නැතැයි ද වාර්තා වේ. මෙම තර්කය මත ශී‍්‍ර ලංකා දැල්පන්දු සංගමයේ නියෝජ්‍ය සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් යස්මින් ධර්මරත්න මහත්මිය යළිත් එම ධුරයට නොබෝදා නිතරගයෙන් පත්වූවාය.

ක‍්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනයේදී මෙවැනි සදොස් හා දුර්වල තැන් කීපයක්ම ක‍්‍රීඩා විශාරදයන් හඳුනාගෙන තිබෙන බවද දැනගන්නට තිබේ.


අදහස් (0)

වගන්ති 11 ක් වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.