Last Update  :  2024-12-04 14:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය අද

ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය අද

editorial - 2024 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර තරග දෙකකින් සමන්විත ආසියානු කුසලාන (2027 - රියාද්) සුදුසුකම් ලැබීමේ කාණ්ඩ අවසන් වටයේ පළමු තරගය අද (5) පස්වරු 3.30 ට කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

මීළග ආසියානු කුසලාන තරගාවලියට (2027) හදුන්වාදී තිබෙන නව තරග ආකෘතිය හමුවේ එහි මූලික වටයේ පරාජිතයන්ට නැවතත් එහි අවසන් වටයට පිවිසීමේ අවස්ථාවක් සලසාදීම සදහා ඔවුන් වෙනුවෙන් මෙම තරග වටය සූදානම් කර තිබේ.

ඒ අනුව ලබන අඟහරුවාදා (10) දෙරට අතර පොන්ම් - පෙන් නුවරදී පැවැත්වෙන දෙවැනි තරගයේ ප්‍රතිඵලයත් සමග තරග දෙකෙන්ම වඩාත්ම දක්ෂතාව දක්වා සිටින කණ්ඩායම ආසියානු කුසලාන (2027) මීළග කාණ්ඩ වටයට නිර්දේශ කර ගැනේ.

එම කාන්ඩයේ තරග වටය නිමාවේදී 2027 රියාද් ආසියානු කුසලාන අවසන් වටය සදහා කණ්ඩායම් 24 ක් නිර්දේශ කර ගැනේ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දූ කණ්ඩායම අද ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නේ පසුගිය ජූනි 11 වැනිදා බන්දාර් සෙරි බෙගවාන් නුවරදී බෲනායි සමග පැවැති තරගයෙන් පසුවය.එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කින් පරාජය විය.

සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසීමේදී ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් සමන්විත ජාතික පාපන්දු සංචිතයක් නිර්දේශ කර තිබේ.එහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා මේ වන විට ආබාධ තත්වයකින් පසු වන බැවින් ඒ වෙනුවට වැඩ බැලීම සදහා කුවේට් ජාතික පුහුණුකරු අබ්දුල්ලා අල්මුතායිරී මහතා පත් කර සිටීමයි.

කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් ඔහුගේ සේවය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.ඔහු කුවේට් රාජ්‍යයේ බලපත්ලාභී වෘත්තීය මට්ටමේ පාපන්දු පුහුණුකරුවෙකි.

අද තරගයට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේද හා කාම්බෝජය 180 වැනි ස්ථානයේද පසු වෙති.ඔවුන්ගේ ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව පිළිවෙළින් එම තත්වය 46 (අවසන්) හා 41 වැනි ස්ථානවලය.

මෙම දෙරට අවසන් වරට 2016 දී මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් පරාජයට පත්ව තිබේ.ශ්‍රී ලංකාව 2023 හා 2024 මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග හයකට සහභාගි වී ඉන් එක් තරගයක් ජය ගෙන තරග තුනක් පරාජයවී සෙසු තරග සම කර තිබේ.භූතානයට එරෙහිව ඔවුන් සිය අවසන් ජය ගෝල 2- 0 කට කොළඹදී වාර්තා කළේ පසුගිය මාර්තු 25 වැනිදා ලෝක සමුළු තරගාවලියේදීය. සංචාරක කාම්බෝජ කණ්ඩායම මෙම වසරට මේ දක්වා ජාත්‍යන්තර තරග හතරකට සහභාගිවී මොන්ගෝලියාව සමග තරගය ගෝල 2 - 0 කට ජය ගෙන ඇත. සෙසු තරග තුන ගිණියාව, ගානාව හා මොන්ගෝලියාවට එම තරග පරාජයවී තිබේ.

ඊයේ (4) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු අබ්දුල්ලා අල්මුතායිරී මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ තරග රටාවෙන් බැහැරව වෙනස්ම තරග රටාවකට පිවිසෙමින් අද තරගය ජය ගැනීමට උත්සහ කරන බවයි. කාම්බෝජයට සූදානම් කර තිබෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දූ සංචිතයේ සැළකිය යුතු වෙනස්කම් සිදුවී නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්‍ය්‍ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විතය.ඉන් හත් දෙනෙක්ම විදේශිකයෝ වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.