Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය පරදවති

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ සිලිගුරි නගරයේ, කන්චෙන්ජුංගා ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සාෆ් පාපන්දු (කාන්තා) තරගාවලියේදී අද (28 වැනිදා) පැවැති තරගයකදී භූතානය ගෝල 2-0 කින් පරාජය කළ ශ්‍රී ලංකාව එම තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් මීට පෙර පැවැති තරගයේදී මාලදිවයින් පිල හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගෝල 5-2 කින් පරාජය විය.
 
මෙම තරගයේ පළමු භාගය දෙපිළම ලකුණු ලබා නොගැනීම නිසා දෙවැනි භාගය දෙපිළටම වඩාත් තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය. එරන්දි කුමුදුමාලා 60 වැනි විනාඩියේදීද ප්‍රවීණා පෙරේරා 77 වැනි විනාඩියේදී ද ලබාගත් ගෝල නිසා ශ්‍රී ලංකාව තරගය ජයගත්තේය.

ජනවාරි 2 වැනිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අනිද්දා (30) නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවට එම අවස්ථාව උදාකර ගැනීම වඩාත් දුෂ්කර වන්නේ ගියවර තරගාවලියේ අනුශූරියන් වන නේපාලය මෙම තරගාවලියේ පළමු තරගයෙන්ම භූතානය ගෝල 8-0 කින් තරම් වන විශාල ලකුණු පරතරයකින් පරදවා “ඒ” කාණ්ඩයේ ඉදිරියෙන් පසුවීම නිසාය.

මූලික වටයේ “බී” කාණ්ඩයේ තරග වදින ඉන්දියාව ඇෆ්ගනිස්ථානය ගෝල 5-1කට පරාජය කරමින් සිය පළමු ජයග්‍රහණය ලැබීය.

වසර 2014 දී පැවැති අවසන් සාෆ් පාපන්දු කාන්තා තරගාවලියේදී ඉන්දියාව ජයග්‍රහණය හිමිකර ගත්තේ ගෝල 6-0 කට නේපාලය පරාජය කරමිනි. එහිදී ඉන්දියාව අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව ගෝල 5-0 කින් පරාජය කර අවසන් මහ තරගයට පිවිස තිබේ.

තරගාවලියේ මූලික වටයේ තවත් එක් තරගයක් බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර හෙට (29 වැනිදා) පැවැත්වේ. මූලික වටයේදී කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වටයට වරම් ලබයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.