Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner නෙදර්ලන්තයට තුන්වැනි තැන

නෙදර්ලන්තයට තුන්වැනි තැන

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සත්කාරක බ්‍රසීලයේ අවසන් බලාපොරොත්තුවත් බිඳ දැමූ නෙදර්ලන්තය ගෝල් 3-0ක ජයක් වාර්තා කරමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ තුන්වැනි තැන හිමිකරගත්තේය. අවසන් පූර්ව තරගයේ වේදනාව මැකීයාමටත් පෙර බ්‍රසීලය ලැබූ මේ අනපේක්ෂිත පරාජය බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයට රැස්ව සිටි එරට දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

පරාජය බ්‍රසීලයට අත වනන්නට පටන් ගත්තේ තරගය ආරම්භයේදීමයග එය සිදුවූයේ 3 වැනි මිනිත්තුවේ බ්‍රසීල නායක තියාගෝ සිල්වා ඔවුන්ගේ දැල් රකින සීමාව තුළ දී නෙදර්ලන්තයේ ප්‍රහාරාත්මක ක්‍රීඩක අර්ජෙන් රොබෙන් බිම හෙලීමත් සමගය.

එම නීතිවිරෝධි ක්‍රියාව හේතුවෙන් නෙදර්ලන්තයට දඬුවම් පහරක් ප්‍රදානය කිරීමට විනිසුරු තීරණය කළේය. ඒ අනුව නෙදර්ලන්ත නායක රොබින් වැන් පර්සි කිසිදු අපහසුවකින් තොරව ගැසූ ගෝලයෙන් 1-0 කින් පෙරමුණ ගැනීමට ආරම්භයේ දීම නෙදර්ලන්තය සමත්විය.

ඔවුන්ගේ දෙවැනි ගෝලය වාර්තා වූයේ 17 වැනි මිනිත්තුවේ දීය. වෙස්ලි ස්නයිජර් යොමු කළ පන්දුව ඉවතට තල්ලු කිරීමට බ්‍රසීලයේ ආරක්ෂක ක්‍රීඩක ඩේවිඩ් ලුයිස් අසමත්වීමෙන් නිසි ඵල නෙලාගත් ඩලෙයි බ්ලයින්ඩ් එය සාර්ථකව ගෝලයක් බවට පත් කරමින් 2-0 කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.

තරගයේ පළමු භාගය නිමාවනවිටත් නෙදර්ලන්තයට එරෙහිව ගෝලයක් ලබා ගැනීමට බ්‍රසිල ක්‍රීඩකයන් අසමත්වීමෙන් ක්‍රීඩාලෝලීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

දෙවැනි භාගයේ දී දෙපිලම දඬුවම් පහර කිහිපයක් ලබා ගැනීමට උත්සාහ කළත් විනිසුරු ඒවා ඉවත දැමුවේය. තරගයේ අවසන් මොහොත වනවිට බ්‍රසීල ක්‍රීඩකයන් සිටියේ දැඩි පසුබෑමකට ලක්වයග ක්‍රීඩාලෝලීන් හූ කීමට පටන් ගැනීමෙන් ඔවූහූ තවත් අසරණ තත්ත්වයකට පත්වූහ.

නෙදර්ලන්තය අවසන් මොහොතේ සිය 3 වැනි ගෝලයක් වාර්තා කළේය. එය ගැසුවේ ජෝර්ජිනියෝ විජ්නල්ඩම්ය. තරගයෙන් ජය ලැබුව ද එය නෙදර්ලන්තයේ පුහුණුකරු ලුයිස් වැන් ජාල්ගේ අවසන් තරගයට බවට පත්වී තිබිණි. ඔහු දැන් මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතය. මේ අතර අනපේක්ෂිත පරාජයන් දෙකකට මුහුණදුන් සත්කාරක බ්‍රසීලයේ පුහුණුකරු ලුයිස් ෆෙලිප් ස්කොලාරි සිය අනාගතය තීරණය කර ගැනීමට එරට පාපන්දු ප්‍රධානින් හමුවීමට නියමිතය. ආරංචියේ හැටියට ඔහුටත් අලුත් රැකියාවක් සොයා ගැනීමට සිදුවනු ඇත.

 


අදහස් (0)

නෙදර්ලන්තයට තුන්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.