Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආජන්ටිනාව අවසන් තරගයට එයි

ආජන්ටිනාව අවසන් තරගයට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

සර්ජියෝ රොමේරෝගේ විශිෂ්ට දැල් රැකීම මත දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරුණු දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නෙදර්ලන්තය පරදවා ගෝල් 4-2 ක ජයක් වාර්තා කළ ආජන්ටිනාව වසර 24කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මිනිත්තු 30 ක අතිරේක කාලයක් දක්වාත් ඉන් නොනැවතී දඬුවම් පහර මගින් ජයග්‍රාහකායා තෝරාගැනීම දක්වාත් තරගය ඇදගෙනයාමට විනිසුරුට සිදුවූයේ නියමිත මිනිත්තු 90 දී කිසිවකුත් ගෝල නොගැසීම නිසාය.

නියමිත කාලයේ අවසන් මොහොතේ නෙදර්ලන්තයේ සුපිරි ක්‍රීඩක අර්ජෙන් රුබෙන්ට නම් වෙස්ලි ස්නයිජර්ගේ පිහිටෙන් ගෝලයක් ගැසීමේ අවස්ථා දෙකක් උදාවිය. එහෙත් ආජන්ටිනාවේ ජේවියර් මැස්චෙරානෝ ඔහු ලුහුබැඳ ගොස් දැල අසළදීම පන්දුව පිටියෙන් පිටතට තට්ටු කර හරිමින් ඒ අවස්ථාව දෙකම වළක්වා ගත්තේය.

සාඕ පාඕලෝ නුවර පැවැති මේ තරගයේ දෙපිලේම ක්‍රීඩකයන් ආරම්භයේ සිටම වැඩි බරක් කරට නොගත් අතර වැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට වග බලාගත්හ. එබැවින් අවිවේකී රාජකාරියක නියැලීමට සිදුවී තිබුණේ  කණ්ඩායම් දෙකෙහි දැල් රකින්නන්ටය.

තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ ආජන්ටිනාවේ දැල රකින රොමේරෝ දඬුවම් පහර ගැසීමේ පළමු අවස්ථාව ලැබූ නෙදර්ලන්තයේ රොන් ව්ලාර්ගේ ගෝලය සාර්ථකව රැක ගනිමින් ආජන්ටිනා කඳවුර ශක්තිමත් කළ අතර ආජන්ටිනාව වෙනුවෙන් පළමු දඬුවම් පහර එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට නායක ලයනල් මෙසී සමත්විය. ඒ අනුව 1-0කින් ආජන්ටිනාව පෙරමුණ ගත්තේය.

අනතුරුව අර්ජෙන් රුබෙන් නෙදර්ලන්තයට දඬුවම් පහරක් සාර්ථක කර දුන්නත් ඊළඟ දඬුවම් පහර නිසි එල්ලය බලා ගැසූ  ඉසේගුවෙල් ගැරේ ආජන්ටිනාවේ බලාපොරොත්තු ඉහළ දැමූවේය. ඒ අනුව ගෝල 2-1කින් ඔවුන් පෙරමුණ ගත්තේය. ඊළඟට වෙස්ලි ස්නයිජර් ගැසූ පහර විශිෂ්ට අයුරින් රැකගත් රොමේරෝ තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම පැත්තට හරවාගත්තේය. ආජන්ටිනාවේ තුන්වැනි දඬුවම් පහර සර්ජියෝ අගීරෝ සාර්ථක කරගත්තේ 3-1කින් ගෝල සංඛ්‍යාව ඉහළ දමමිනි.

අනතුරුව නෙදර්ලන්තයේ සිවුවැනි දඬුවම් පහර සාර්ථක කරගැනීමට නායක රොබින් වැන් පර්සි සමත්වූවත් ආජන්ටිනාවේ තීරණාත්මක දඬුවම් පහර නිසි එල්ලයට ගැසූ මැක්සි රොඩ්‍රිගුවස් 4-2 කින් ජයග්‍රහණය තහවුරු කළේය.  ආජන්ටිනා ක්‍රීඩකයන් ගැසූ එකම පහරක්වත් රැක ගැනීමට නෙදර්ලන්ත දැල් රකින්නා වූ ජෙස්පර් කැලිසන් සමත්වූයේ නැත.

දඬුවම් පහර මගින් කොස්ටරිකා පිලට එරෙහිව ජය ලැබූ අර්ධ අවසන් පූර්ව තරගයේ දී අතිවිශිෂ්ට දැල් රැකීමක නිරත වූ නෙදර්ලන්තයේ ටිම් ක්රූල් වෙනුවට මේ තරගයට අතිරේක දැල් රකින්නා වන කැලිසන් යොදා ගැනීමට පුහුණුකරු ලුයිස් වැන් ජාල් ගත් දුර්වල තීරණය තරගයෙන් පසුව දැඩි විවේචනයට ලක්විය.


අදහස් (4)

ආජන්ටිනාව අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.