Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඇල්ජීරියාවේ ජය බෙල්ජියම උදුරාගනී

ඇල්ජීරියාවේ ජය බෙල්ජියම උදුරාගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිරේක ක්‍රීඩකයන් වන මොරියානේ ෆෙලයිනි හා ඩ්‍රයිස් මාටින්ස් දෙවැනි භාගයේ අවසන්  මොහොතේ  දී ලබාගත් ගෝල ද්විත්වය හේතුවෙන් ඇල්ජීරියාව ගෝල 2-1කින් පරාජය කිරීමට බෙල්ජියම සමත්විය. ʻඑච්ʼ කාණ්ඩයේ ආරම්භක තරගය ලෙසින් මෙය පැවැත්විණි.

තරගය ආරම්භ කිරීමටත් පෙර ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස විචාරකයන් අතර බෙල්ජියම නමක් දිනා සිටියේය. ඇතැම්විට ලෝක කුසලානයට අත තැබීමට ද ඔවුන්ට හැකිවනු ඇතැයි ඇතැම් විචාරකයන් සැක පහළ කළහ. එහෙත් 24 වැනි මිනිත්තුවේ දී ඇල්ජීරියාවේ සොෆියානෝ ෆෙගහුලී පන්දුව ලුහුබැඳ යද්දී බෙල්ජියමේ ජැන් වර්ටොන් නීතිවිරෝධි අයුරින් ඔහු තල්ලු කිරීම මත ලැබුණු දඬුවම් පහරකින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ඇල්ජීරියාව සමත්විය. එය 1986 තරගමාලාවෙන් පසුව ඇල්ජීරියාව ලෝක කුසලාන තරගයක දී ලබාගත් මුල්ම ගෝලය ද විය.

ෆෙගහුලී ලබාගත් එම ගෝලයත් සමග විමතියට හා දැඩි පීඩනයකට හසුවූ බෙල්ජියමේ ක්‍රීඩකයන් අනවශ්‍ය ලෙස කළබලයට පත්ව සිටි බවක් දක්නට ලැබිණි. එම ගෝලයත් සමග තරගයේ පළමු භාගයේ පෙරමුණ ගත් ඇල්ජීරියා ක්‍රීඩකයෝ දෙවැනි භාගයේ අවසන් මිනිත්තු 20 දක්වාම බෙල්ජියමේ හෘදස්පන්දනය වැඩි කිරීමට සමත්වූහ.

එහෙත් 70 වැනි මිනිත්තුවේ දී  කෙවින් ඩි බෘනී ගැසූ පහර අතිරේක ක්‍රීඩක ෆෙලනී ඉතා සාර්ථකව තම හිසින් ප්‍රතිවාදීන්ගේ දැල තුළට පන්දුව යොමු කිරීමෙන් තරගය 1-1ක් ලෙස සමකර ගැනීමට බෙල්ජියම සමත්විය. ඒ සමගම තරගයේ උණුසුම ඉහළ ගිය අතර බෙල්ජියම් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි උද්යෝගය මත එරට ක්‍රීඩකයෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ.

තරගයේ අවසන් භාගයට පිවිසීමත් සමග දෙපිලම අතිරේක ක්‍රීඩකයන් යොදා ගනිමින් සිය කණ්ඩායමේ උද්යෝගය රැක ගැනීමේ උත්සාහයක නිරතවූ අතර 19 හැවිරිදි ඩ්‍රයිස් මාටින්ස් පිටියට පිවිසීමෙන් අනතුරුව තරගයේ 80 වැනි මිනිත්තුවේ දී බෙල්ජියමේ ජයග්‍රහණය තහවුරු කළ දෙවැනි ගෝලය වාර්තා විය.

83වැනි මිනිත්තුවේ දී ෆෙලයිනීට සිය දෙවැනි ගෝලය ලබාගැනීමේ අවස්ථාව උදාවූව ද ඇල්ජිරියාවේ දැල් රකින්නා වූ රයිස් බෝහි ඉතා සාර්ථකව එය වැළක්වීය.


අදහස් (0)

ඇල්ජීරියාවේ ජය බෙල්ජියම උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.