Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ක්ලෝස්ගේ ගෝලයෙන් ජර්මනිය කීර්තිය රැකගනී

ක්ලෝස්ගේ ගෝලයෙන් ජර්මනිය කීර්තිය රැකගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මිරොස්ලව් ක්ලෝස්ගේ වාර්තාගත ගෝලය නිසා 2-2 ලෙසින් තරගය සම කර ගත් ජර්මනිය,  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ෆෝර්ටලේසාහිදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයේදී ඝානාව හමුවේ සිය අභිමානය රැක ගත්තේය.

ක්ලෝස් මේ ගෝලය ලබාගත්තේ තරගය නිමාවීමට මිනිත්තු 19 ක් පමණක් ඉතිරිව තිබියදීය. ඒ සමගම ලෝක කුසලාන තරගමාලාවේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කරමින් (ගෝල් 15ක්) බ්‍රසීලයේ රොනල්ඩෝ තැබූ වාර්තාව සම කිරීමටද ක්ලෝස් සමත්විය.

‘ජී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙහිදී  දෙපිලම ඉතා පරිස්සම් සහගතව ක්‍රීඩා කිරීමෙන් තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවිය. ජර්මනියේ තෝමස් මුලර් ආකර්ශණීය ක්‍රීඩා රටාවක නිරතවූ අතර  ඝානාවේ සුලෙයි මුන්ටාරි වේගවත් පහරවල් කිහිපයකින් දැළ රකින්නාගේ හැකියාව උරගා බැලුවේය.

දෙවැනි භාගය ආරම්භ වීමෙන් පසුව 51 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය ලබාගනිමින් පෙරමුණ ගැනීමට සමත්වූයේ ජර්මනියයි. මුලර් යොමුකළ පන්දුවට මාරියෝ ගොට්සේ තම හිසෙන් ගැසූ පහරින් පළමු ගෝලය වාර්තා විය. එහෙත් ඊට මිනිත්තු තුනකට පසුව ඝානාවේ අන්ඩ්‍රේ අයෙව් ලබාගත් ගෝලයත් සමග තරගය 1-1කින් සම තත්ත්වයකට පත්විය. 54 වැනි මිනිත්තුවේ දී අයෙව් තම හිසෙන් ගැසූ ඉතා අලංකාර පහරකින් පන්දුව දැළ රකින්නාට නවතාගත හැකිවූයේ නැත.

63 වැනි මිනිත්තුවේ දී සුලෙයි මුන්ටාරී ජර්මනියේ ආරක්ෂක ක්‍රීඩකයන් අතරින් යොමුකළ පන්දුව සාර්ථකව ලබාගත් අසාමෝ ග්යාන් ඝානාව ගෝල 2-1 කින් ඉදිරියට රැගෙන ගියේය. එහෙත් ජර්මනියට වැඩි වේලාවක් පීඩනය දරා සිටීමට ඉඩ නොදුන් ක්ලෝස් 71 වැනි මිනිත්තුවේ දී ජර්මනියේ දෙවැනි ගෝලය ලබාගනිමින් 2-2ක් ලෙස තරගය සමකරගත්තේය.
 
ක්ලෝස් මේ තරගයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ක්ලොස් මෙන්ම රොනල්ඩෝ ද ලෝක කුසලාන තරගමාලාවේ සිය 15 වැනි ගෝලය රැස් කළේ ඝානාවට එරෙහිව වීම තවත් සුවිශේෂී සිදුවීමකි.

 


අදහස් (0)

ක්ලෝස්ගේ ගෝලයෙන් ජර්මනිය කීර්තිය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.