Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ස්ටීවන් ජෙරාඩ් අන්තර්ජාතික තරග බිමෙන් සමුගනී

ස්ටීවන් ජෙරාඩ් අන්තර්ජාතික තරග බිමෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මගේ රට නියෝජනය කළ හැම මිනිත්තුවේදීම ලැබුවේ අසීමිත සතුටක්. ඒත් ආපහු එංගලන්ත බැනියම අඳින්න ලැබෙන්නේ නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්.‘ ජාත්‍යන්තර පාපන්දු තරගබිමෙන් සමුගන්නට තීරණය කළ එංගලන්ත පාපන්දු පිලේ නායක ස්ටීවන් ජෙරාඩ් කියයි.

සිංහයන් තුන්දෙනාගේ ලාංචනයකට උරුමකම් කියන එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 114 කටත්, ගෝල 21 කටත් හිමිකම් කියන ජෙරාඩ්  පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළේ ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ එංගලන්තය ලද දරුණු පසුබෑම හේතුවෙනි. එහි දී එංගලන්ත පිල මූලික වටයෙන්ම ඉවතට විසිවිය. ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ ඔවුන් ලැබූ නරකම පරාජය එයය.

එංගලන්ත නායකයාගේ සමුගැනීම ඉක්මන් වූයේ මේ දරුණු පසුබෑමත් සමගය. ලෝක කුසලානය තරගමාලාවට සහභාගීවීමට බ්‍රසිලයට යනවිට ජෙරාඩ් එවැනි ප්‍රධානපෙලේ තරගාවලි 5කටම සහභාගි වී සිටියේය. එහෙත් බ්‍රසීලයේ දී ඒ සියලු අත්දැකීම්වලින් ඔහුට සෙතක් වූයේ නැත.

ඉතාලිය සමග පැවැති පළමු තරගයෙන් ගෝල් 2-1 ක පරාජයක් ලැබූ එංගලන්තය සිය දෙවැනි තරගයේ දී උරුගුවේ පිල වෙතින් ලැබූ ගෝල 2-1 ක පරාජය තරගමාලාවෙන් ඉවත්වීමේ රතු එළිය දැල්විය. කොස්ටරිකා කණ්ඩායම සමග පැවැති තුන්වැනි තරගය ගෝල රහිතව 0-0ක් ලෙස නිමාවට පත්වීමත් සමග එංගලන්ත ක්‍රීඩකයන්ට සිය ගමන්මලු සූදානම් කරගැනීමට සිදුවිය.

එංගලන්ත පාපන්දු පිටියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස පිළිගැනෙන 34 හැවිරිදි ජෙරාඩ් ජාත්‍යන්තර පිටියට එක්වුයේ 2000දී යුක්රේනයට එරෙහිව ගෝල 2-1ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායමේ කෝඩුකාරයා ලෙසටය.

එංගලන්තය වෙනුවෙන් වැඩිම පාපන්දු තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයන් අතර ඔහු ඉන්නේ තුන්වැනි තැනය. මීට පෙර පීටර් ෂිල්ටන් තරග 125 කට සහභාගි වී තිබූ අතර ඩේවිඩ් බෙකම් තරග 115 කට සහභාගි වී සිටියේය. ජාත්‍යන්තර තරග බිමෙන් ඉවත්වූවත් තව දුරටත් ලිවර්පූල් කණ්ඩායමට ක්‍රීඩා කරන බවට ජෙරාඩ් සහතික වෙයි.

‘එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ මේ දීර්ඝ කාල පරිච්ඡේදය පුරා මගේ ළඟින් සිටි පවුලේ සාමාජිකයන්ටත්, මගේ හිතමිතුරන්ටත් මේ මොහොතේ මම ස්තූතිය පුද කරනවා. එංගලන්ත ක්‍රීඩාලෝලීන් ගැන විශේෂයෙන් කියන්න ඕනා. ඔවුන් බ්‍රසීලයේ දී විතරක් නෙවෙයිග අපේ කණගාටුදායක හැම පරාජයකදීම ඔවුන් කණ්ඩායම පසුපස හිටියා.

මගේ කණ්ඩායමේ කළමනාකරු රෝයි හොජ්සන්ට විශේෂයෙන් ස්තූති කළ යුතුයි. මට කණ්ඩායමේ ස්ථීර නායකත්වය ලබාදීලා කුඩා වියේ ඉඳලම මගේ හිතේ තිබුණු හීනය සැබෑ කරගන්න ඉඩ ලබාදුන්නු එකට. පසුගිය සති කිහිපය පුරා ඔහු මා ගැන හොඳ අවබෝධයකිනුයි හිටියේ .. තරග 38දී එංගලන්තය මෙහෙයවූ ජෙරාඩ් සිය සමුගැනීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

‘මේක ගොඩාක් අසීරු තීරණයක් වුණා. මගේ ජීවිතයේ මා ගත්තු දුෂ්කරම එකක්. නමුත් ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයෙන් ඉවත්වෙලා නැවත එංගලන්තට ආවාට පස්සේ මගේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග කතා කරලයි මං මේ තීරණය ගත්තේ. කොහොමවුණත් ඉදිරියේ දී ලිවර්පූල් කණ්ඩායම සමග දිගටම රැඳී සිටින්නට මම බලාපොරොත්තු වෙනවා. චැම්පියන් ලීග් ශූරතාවලිය ඉදිරියේ දී පැවැත්වෙන නිසා මට පුළුවනි මගේ සම්පූර්ණ අවධානය යොමු කරමින් කණ්ඩායමේ සාර්ථකත්වයට උපරිම දායකත්වය ලබාදෙන්න.‘

ජෙරාඩ්ගේ තීරණයෙන් කණගාටුවට පත්වූවත්, ඔහු වැටී සිටි තත්ත්වය වටහා ගත් නිසා ඒ තීරණය පිළිගැනීමට සිදුවූ බව එංගලන්ත පාපන්දු පිලේ කළමනාකරු හොජ්සන් ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළේය. ජෙරාඩ් යනු සිය කණ්ඩායමට අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කළ නායකයෙක් බවත්, ඔහුගේ ඉදිරිගමනට සුබ පතන බවත් එංගලන්ත පිලේ කළමනාකරු කියා සිටියේය.

ජෙරාඩ්ගේ සමුගැනීමත් සමග එංගලන්ත පාපන්දු පිලේ නව නායකයා සම්බන්ධව උණුසුම් පුවත් පළවෙන්නට පටන් ගෙන ඇත. මැදපෙළ ක්‍රීඩක ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ් නායකත්වයට වඩාත් ළඟින් සිටින ක්‍රීඩකයා වූවත්, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට ඔහු ද කල්පනා කරමින් සිටින බැවින් වෙනත් ක්‍රීඩකයකු වෙත අවධානය යොමු කිරීමට එරට පාපන්දු බළධාරීන්ට සිදුවී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු තරග 100 සම්පූර්ණ කිරීමට ආසන්නව සිටින සුපිරි ක්‍රීඩක වේන් රූනිට එරට ජාතික කණ්ඩායමේ නායකත්වය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇත.  මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන රූනි ද නායකත්වයට ඇස ගසා සිටින්නේ කාලයක් තිස්සේය. එහෙත් කළමනාකරු හොජ්සන්ගේ අවධානය යොමුවූ තවත් ක්‍රීඩකයකු සිටීග ඔහු ජෝ හාට්ය. පසුගිය කාලය පුරා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයකු ලෙස හාට් හොජ්සන්ගේ හදවත දිනා සිටියි. තවත් ප්‍රබල ක්‍රීඩකයන් දෙදනෙකු වන ගැරී කාහිල් සහ ජැක් විල්ශෙයාර් ද නායකත්වයේ ඔටුන්නට ඇස ගසාගෙන සිටින බව එංගලන්ත පුවත්පත් වාර්තා කොට තිබිණි.
 
එසේ බලද්දී ස්ටීවන් ජෙරාඩ්ගේ වේදනාත්මක සමුගැනීම තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුගේම සිහින සැබෑ වීමේ ඉඩකඩ විවර කර දී තිබෙන බැව් පෙනේ. ඉතින් කෙනකුගේ දුක තවත් කෙනකුගේ සතුටක් බව අමුතුවෙන් කිව යුතුද නැත.

 


අදහස් (0)

ස්ටීවන් ජෙරාඩ් අන්තර්ජාතික තරග බිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.