Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අපිත් ඉන්නේ ඕස්ටේ‍්‍රලියාව ළගින්මයි - මහේල

අපිත් ඉන්නේ ඕස්ටේ‍්‍රලියාව ළගින්මයි - මහේල

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී පැවැති තරගයේදී ලකුණු 233 ක් හඹා යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ලකුණු 2 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට ගියහ. කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 51 දී බිඳ වැටීමෙන් පසුව අමාරුවේ වැටුණු ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධනට ඉන් පසුව පැවැති තරග දෙකේදීම පිටියට පිවිසීමටවත්  අවශ්‍ය වූයේ නැත.

සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමන් තමන්ගේ නම ඉදිරියෙන් තවත් ලකුණු කීයක් හෝ එකතු කරගන්නට සූදානමින් සිටියද බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩාගාරයට වී ඉන්නට සිදුවීම ගැන මහේලට මැසිවිල්ලක් නැත.

”ඒක කණ්ඩායමට හොඳයි. ඇරත් මට මේ තරගාවලියේ ඉතිරි තරග සියල්ලම වාඩි වෙලා බලාඉන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒත් එහෙම වෙන්නේ නෑනේ..”
”ඒ කොයි දේ වුණත් අපි කණ්ඩායමක් වශයෙන් නැවතත් කිසියම් රිද්මකයට එමින් සිටිනවා” යයි මහේල ජයවර්ධන අද (6 වැනිදා) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

පසුගිය වසර එකහමාරක පමණ කාලය ඇතුළත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිහරඹය දෙස හැරී බැලූවහොත් දැකගත හැකි ප‍්‍රධානතම ලක්‍ෂණය වන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් තුන්හතර දෙනා කණ්ඩායම කරේ තබාගෙන ගිය බවයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදීත් සිදුවන්නේ එයම මිස වෙනත් දෙයක් නොවේ.

වාසනාවට මෙන් ළහිරු තිරිමාන්නත් මෙවර පිතිකරු පෙරහැරට එක්වී පෙළහර පාමින් සිටී. මේ වන විට ලෝක කුසලාන තරග 4 කට සහභාගි වී සිටින තිරිමාන්න එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 256 කි.

”කොහොම වුණත් මේක හිතන තරම් ලේසි පාසු කාරියක් නෙමේ. මේ වගේ තීරණාත්මක තරග වල තියෙන පීඩනය අපි දරාගෙන අපිම මේ තරග ඉවර කරන්න  ඕනෑ” යයිද මහේල කියයි.

”නවසීලන්තයේදී වුණත් අපි ලකුණු 280 ක් 300 ක් ලබාගත්තා. ඒත් ඔවුන් ඒ ඉලක්ක කරා යමින් ඒ තරග ජයග‍්‍රහණය කළා..අපේ පන්දු යවන්නන් ටිකක් තුවාල වුණ නිසා එයින් වාසිය ලබාගෙන ඔවුන් (නවසීලන්ත පිතිකරුවන්) ඒ ඉලක්ක කරා ගියා” යයිද මහේල පැවසීය.

නවසීලන්ත සංචාරයේදී කුමක් වූවත් ලෝක කුසලාන තරගාවලියේදී ඒ සෙල්ලම් බැරි බවත් කිසියම් හෝ වැරදීමක් වුවහොත් ඊට බරපතළ වන්දියක් ගෙවීමට සිදුවන බවත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ දනිති. එහෙත් ඒ ගැන වැඩියෙන් හිත කරදර කර නොගන්නා මැතිව්ස්, මහේල, මාලිංග, සංගා සහ ඩිල්ෂාන් ඇතුළු පිරිවර සිතන්නේ තමන් ඉදිරියේ තිබෙන තරගය ගැන පමණි. ඉදිරිය ගැන සිතීම ඉතිරිකර තිබේ.

”ඇෆ්ඝනිස්ථාන් තරගයේදී හිතුවේ ඒ ගැන විතරයි....ඒ්ත් අපි මෙල්බර්න් නුවරට ගියාම දැනගත්තා බංග්ලාදේශයට එරෙහි තරගයත් දිනාගන්න  ඕන කියලා..ඒ අනුව කටයුතු කරලා ඒකත් දින්නා..පස්සේ එංගලන්තයට එරෙහිව වෙලින්ටන් තරගයත් දිනුවා....”

”මේ හිස එසවීම හොඳයි. ඒත් ඒක දිගටම තියාගන්න  ඕනේ...” යයි කී මහේල ජයවර්ධන...

”මේ ලෝක කුසලාන තරගාවලියේ මුල් කොටසේදීම  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය එක්ක කී‍්‍රඩා කරන්න ලැබුණ එක බොහොම හොඳයි. මොකද ඔවුන් හොඳ කණ්ඩායම්. ඒ වගේ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරලා අපි ඉන්න තැන කොතැනද කියා බලාගන්න පුළුවන්”යයිද 2007 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගිය නායකයා පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ඉරිදා (8 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ජයගන්නා කණ්ඩායමට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමේ අවස්ථාවක් තිබේ. එහි අනුයාත ප‍්‍රතිඵලය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදීත් සිඞ්නි පිටියේදීම තරග කිරීමට ලැබීමේ අවස්ථාවක් උදා වීමද විය හැකිය.

”කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ හොඳම කණ්ඩායම් එහි පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට එන තරගාවලියක්....ඒ වගේ තරගාවලියක එක එක කණ්ඩායම් මගහරින්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක්” යයිද මහේල කියයි.

”හොඳ හොඳ සෙල්ලම් ටික බලාගන්න වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ වුණාට පස්සෙයි. ඒක ඒ වෙලාවට බලාගනිමු”  

 ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තරගය ජයගනිමින් ඉන්දියාව හෝ දකුණු අපි‍්‍රකාව මගහැරීමට උත්සාහ කරන්නේද යන්න කළ විමසීමේදී මහේල පැවසුවේ බොහෝ දේ සිත තුළ රඳවා ගනිමිනි.

නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලිය පුරාම හුදු පේ‍්‍රක්‍ෂකයකු වී සිටි ලසිත් මාලිංග, ලෝක කුසලාන තරගාවලියේ තරගයෙන් තරගයට තමන්ගේ නියමිත රිද්මය කරා ළගා වෙමින් සිටී. ඔහු මේ වන විට තමන්ගේ නියමිත වේගය කරා ආසන්න වෙමින් සිටින අතර පන්දු යැවීම විවිධාකාර කරමින් කඩුලූ දවාගනිමින් සිටී.

මෙම ලෝක කුසලාන තරගාවලිය කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වුවත් ඔවුන් දෙදෙනා වෙත අතිරේක බරක් පැටවී නැත.

”කණ්ඩායම අපෙන් සියල්ලම බලාපොරොත්තු වෙනවා කියා මා හිතන්නේ නෑ..කුමායි මමයි බොහොම සතුටින් සැහැල්ලූවෙන් අපේ කී‍්‍රඩාව කරගෙන යනවා.....ඇරත් ලසිත්, ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) සහ ඩිල්ෂාන් වගේ කී‍්‍රඩකයන් කී‍්‍රඩා කරලා තියෙන තරග ඇති මෙ තරගවල තත්ත්වය තේරුම් ගන්න”
 
”ලෝක කුසලාන තරගාවලියේදී අපේ මෙතෙක් වෑයම සාර්ථකයි. අප විසින් කළ යුත්තේ අපට දෙන තරග සැලැස්ම මැද්දට ගිහින් කි‍්‍රයාත්මක කරන එකයි. ඒ කි‍්‍රයාත්මක කිරීම අනුව සේරම රඳා පවතිනවා”

”මේ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් 8 අතර ඒ තරම් වෙනසක් නෑ. වෙනස තියෙන්නේ ඒ ඒ තරගයේදී ලැබෙන පීඩනය හසුරුවා ගන්නා ආකාරය මතයි” යයිද මහේල පැවසීය.

වසර 19 ක කාලයක් පුරා ලෝක කුසලාන තරගයකදී  ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මහේල දරන්නේ මෙවන් අදහසකි.
”ඒ කාලයේ ඔවුන් අපව විතරක් නෙමේ ලෝකයේ අනෙක් කණ්ඩායම් පවා දමනය කරගෙන හිටියා. ඒත් අපි ඔවුන්ට ඒ තරම් ඈතින් හිටියේ නෑ”

”ඔවුන් ලෝක කුසලාන 3 ක් දිනාගන්නා අතරේ (1999, 2003 සහ 2007) අපි අවසන් මහ තරග දෙකක් (2007 සහ 2011) සහ අවසන් පූර්ව තරගයක් (2003  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) කී‍්‍රඩා කළා....ඒ නිසා ඉරිදා ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) වගේ තරගයකදී අපට වැදගත් වෙන්නේ අපි අපේ තරග සැලැස්මට අනුව කී‍්‍රඩා කිරීමයි” යයිද මහේල පැවසීය.

තමන්ගේ හොඳම  ඕස්ටේ‍්‍රලියානු සංචාරය කුමක්ද යන්න පිළිබඳව කළ විමසීමේදී මහේල වසර 17 ක් තරම අතීතයට ගමන් කළේය.

”මා හිතන්නේ එය 1998 සංචාරය කියලයි”

”මම මගේ පළමු තරගය කී‍්‍රඩා කළේ බි‍්‍රස්බේන්හිදී. මාව ගෙන්නුවේ අරවින්ද ද සිල්වා ඒ වන විට තුවාල ලබා සිටි නිසා ඔහුගේ තැනටයි. එතැන කී‍්‍රඩා කළ නිසා මට කිසියම් විශ්වාසනීයත්වයක් ලැබුණා.”

”ඒත් මගේ හතරවැනි තරගය, ඇඩිලේඞ්හිදී එංගලන්ත පිලට එරෙහිව තිබුණේ. මම එහිදී ශතකයක් ලබාගත්ත නිසා මට එයින් විශාල ආත්ම විශ්වාසයක් ලැබුණා”

මෙම තරගයේදී මහේලගේ ශතකය (පන්දු 111 කදී ලකුණු 120) නිසා ශී‍්‍ර ලංකා පිල ලකුණු 303 ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජයගත් නමුත් වඩාත් ඉස්මතු වූයේ මුත්තයියා මුරලිදරන් නැවත වරක් පන්දුව දමා ගසන්නකු ලෙසින් නම් කිරීමයි. මෙම සිදුවීම නිසා මහේලගේ ශතකය බොහෝ දෙනාගේ මතකයෙන් ගිළිහිණ.

”මම  ඕස්ටේ‍්‍රලියාවට එන හැම වතාවකම සුන්දර මතක සටහන් තියෙනවා. මා මේ රටේදී කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් ඉහළ ආශ්වාදයකින් යුතුව කී‍්‍රඩා කරනවා” යයිද මහේල අද සිඞ්නි නුවරදී පැවසීය.

 


අදහස් (0)

අපිත් ඉන්නේ ඕස්ටේ‍්‍රලියාව ළගින්මයි - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.