Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අලාම් - මසූඩ් අවසන් ඕවරයේදී පාකිස්තානය දිනවති

අලාම් - මසූඩ් අවසන් ඕවරයේදී පාකිස්තානය දිනවති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

ලකුණු 275 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවන්ගේ ගමන අඩාළ කළ ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ රංගන හේරත් තිදෙනා ලකුණු 117 කට පාකිස්තානු කඩුලු 5 ක් බිම දැමූ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆවාඩ් අලාම් (62) සහ ෂොයිබ් මක්සූඩ් (නොදැවී 89) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී පාකිස්තානු පිල කඩුලු 4 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. 

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද පාකිස්තානු පිල සමත් විය.

ෆවාඩ් අලාම් සහ ෂොයිබ් මක්සූඩ් දෙදෙනා පාකිස්තානු බලාපොරොත්තු අලුත් කරමින් තරගයේ 40 වැනි ඕවරය නිමා වන විට ලකුණු පුවරුව කඩුලු 5 ට 231 දක්වා වෙනස් කළ අතර තරගය නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී සහීඩ් අෆ්රීඩි ගැසූ හත‍රේ පහරකින් පාකිස්තානු පිලට ජය හිමිවිය.

අද තරගයේදී සියලුම ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ලසිත් මාලිංගගේ ඕවර 9 න් ලකුණු 60 ක් උදුරා ගැනීමට පාකිස්තානුවෝ සමත් වූහ. අවසන් ඕවර කිහිපයේදී ෂොයිබ් මක්සූඩ් දුවද්දී දවාගැනීමට තිබූ පහසු අවස්ථා දෙකක්ම ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර දෙදෙනා අතින් ගිළිහී ගියේය.

පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසුව පන්දුවෙන්ද පාකිස්තානය අමාරුවේ දැමූ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලු ලකුණු සංඛ්‍යාව 47 ක් වෙද්දී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවා තිබිණ. මාස 3 කට පසුව කණ්ඩායමට එක්වූ තිසර පෙරේරා තවත් කඩුලු දෙකක් දවාගත් අතර කුමාර් සංගක්කාර විසින් රැකගන්නා ලද අති විශිෂ්ට උඩපන්දුවක් කිසා පාකිස්තානු නායකයාගේ ඉනිම ලකුණු 13 කට සීමා විය.

වේග පන්දු යවන්නන්ගේ අණසකට නතුව පැවැති තරගය සහමුලින්ම කණපිට පෙරළමින් පාකිස්තානු පන්දු යවන්නන් දණගැස්වූ මහේල ජයවර්ධන - ඇන්ජලෝ මැතිව්ස් සහ අශාන් ප්‍රියන්ජන් තිදෙනා ශ්‍රී ලංකා පිලේ නියමිත ඕවර 45 නිමා වන විට කඩුලු 7 කට 275 ක් දක්වා ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහෙත් තරගයේ 6 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පාකිස්තානු ඉලක්කය ඕවර 45 කදී ලකුණු 275 ක් ලෙස සංශෝධනය කෙරිණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 75 දී බිම වැටුණත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ මහේල ජයවර්ධන (63) සහ ඇන්ජලෝ මැතිවිස් (89) ශ්‍රී ලංකා පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ. 

මැතිව්ස් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 10 කදී ලකුණු 13 ක් ලබාගැනීමෙන් පසුව දැවී ගියද ඉන් අනතුරුව පැමිණි අශාන් ප්‍රියන්ජන් තමන්ට රිසි සේ  පහර නිර්මාණය කරමින් නොදැවී ලකුණු 39 ක් ලබාගත්තේ පන්දු 15 කට පමණක් මුහුණ දෙමිනි. ඊට අලංකාර හතරේ පහර 8 ක් ඇතුළත් විය.

අවසන් ඕවර 10 දී ලකුණු 105 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පාකිස්තානුවන්ට අදහාගත හොහැකි ඉසව්වක් කරා ලකුණු සංඛ්‍යාව ඇදගෙන ගියහ.

එක්දින තරග 131 ක් ක්‍රීඩා කර ඇති නමුත් තවමත් ශතකයක් ලබාගැනීමට තරම් වාසනාවන්ත නොවූ ඇන්ජලෝ මැතිව්ස් අදත් දැවී ගියේ පන්දු 85 කින් ලකුණු 89 ක් ලබාගැනීමෙන් පසුවය. අලංකාර ඉන්සයිඩ් අවුට් පහරකින් සහ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකින් ගැසූ හයේ පහර දෙකකින් සිය ඉනිම අලංකාර කළ මැතිව්ස් හතරේ පහර 9 කින්ද එය සැරසීය.

මෙම තරගයේදී ලකුණු 12 ක් ලබාගැනීමත් සමගින් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 අන්තර්ජාතික තරග සියල්ලේදිම ලබාගත් ලකුණු අනුව ලකුණු 25,000 සීමාව පසුකර යාමට මහේල ජයවර්ධන සමත් විය.

ටෙස්ට් තරග 149 කදී ලකුණු 11,814 ක් ලබා සිටින මහේල ජයවර්ධන අද දිනයේ අර්ධ ශතකය ලබාගැනීමත් සමගම එක්දින ලකුණු 11,731 ක් ලබා සිටියේය. විස්සයි20 තරග 55 කදී ලබා සිටින ලකුණු 1491 ත් සමගින් මහේල අන්තර්ජාතික ලකුණු 25,000 සීමාව පසුකර ගියේය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පාකිස්තානුවන් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේ වැසිබර කාලගුණික තත්ත්වයෙන් ප‍්‍රයෝජන ගනු රිසියෙනි. එහි ප‍්‍රතිඵල සාර්ථකව නෙළාගත් වමත් වේග පන්දු යවන්නන් වන වහබ් රියාස් (25/1) සහ ලොව උසම වේග පන්දු යවන්නා වන මොහොමඞ් ඉර්ෆාන් (41/2) ලකුණු 75 දී ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ලත් බිම දැමූහ.

ඊයේ රාත්‍රියේදී පැවැති වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම විනාඩි 15 කින් ප්‍රමාද කෙරුණු අතර තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති වර්ෂාව නිසා ඉනිමක් ඕවර 45 ක් දක්වා සීමා කෙරිණ.
 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (10)

අලාම් - මසූඩ් අවසන් ඕවරයේදී පාකිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.