Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 චන්දිමාල්ගේ නික්මයාමෙන් සටන පරදී

චන්දිමාල්ගේ නික්මයාමෙන් සටන පරදී

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින්, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අති විශිෂ්ට සටනක නිරත වූ නමුත් ලකුණු 312 කින් ශී‍්‍ර ලංකා ඉනිම නතර කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී ලකුණු 64 ක ජයක් අත්කරගත්හ.

ඉනිමේ 40 වැනි  ඕවරය අවසන් වන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 272 ක් ලබා සිටියද එයින් පන්දු හතකට පසුව දිනේෂ් චන්දිමාල් පාදයේ ආබාධයක් හේතුවෙන් ආපසු කී‍්‍රඩාගාරයට ගියේය. එතැනින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පාලනය කරගත්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිලේ අවසන් පිතිකරුවන් පස්දෙනාම ලකුණු 40 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යවමින් තරගය ජයගත්හ.

 ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයාමට නොසැලෙන උත්සාහයක නිරතවූ නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 30) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 46) පස්වැනි කඩුල්ල වෙනුවෙන්  ඕවර 6 කදී ලකුණු 71 ක් එක් කළ අතර චන්දිමාල් සිය පළමු වැනි ලෝක කුසලාන ඉනිමේදී පන්දු 24 කින් ලකුණු 52 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න දෙවැනි  ඕවරයේදී දැවී ගිය නමුත් සංගක්කාර පිටියට පිවිසීමත් සමග ධෛර්යවත් වූ ඩිල්ෂාන්  ඕස්ටේ‍්‍රලියානු පිලේ භයානකම පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ගේ  ඕවරයක පන්දු 6 ම හතරේ සීමාවට යැවීය. 22 වැනි  ඕවරයේදී දැවී යාමට පෙර සංගක්කාර සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඩිල්ෂාන් සිය 43 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 8 කින් සරසා තිබිණ.

සංගක්කාර ලකුණු 99 ක් ලබා සිටියදී ඔහුට ශතකය ලබාගැනීමේ අවස්ථාව දීමටදෝ ලකුණක් කරා දිවගිය මහේල ජයවර්ධන දුවද්දී දැවී යාමත් ශී‍්‍ර ලංකා පිලේ හඹායාම තරමක් අඩාල වීමට හේතුවක් වූ නමුත් මැතිව්ස් සහ චන්දිමාල් අපූරුවට ඒ අඩුව පුරවා දැමූහ.

කෙසේ වෙතත් නියමිත  ඕවර 50 නිමාවන තුරුත් කඩුලූ ආරක්‍ෂා කරගත හැකිවූයේ නම් තවත් ලකුණු 40 ක් පමණ පහසුවෙන්ම ශී‍්‍ර ලංකා පිලට එක්කරගත හැකිව තිබිණ.

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සෙල්ලමකට ගත් ග්ලෙන් මැක්ස්වෙල්ගේ ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹය (පන්දු 53 කින් ලකුණු 102 ක්) නිසා පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 376 ක් ලබා ගත්තේය.

පන්දු 82 ක් පමණක් උපයෝගී කරගනිමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ග්ලෙන් මැක්ස්වෙල් (102) සහ ෂේන් වොට්සන් (67) දෙදෙනා, 33 වැනි  ඕවරයේ සිට  ඕවර 13 ක කාලයක් පුරා ලකුණු ලබාගැනීමේ වේගය  ඕවරයකට ලකුණු 12 ක් ආසන්නයේ තබාගත්හ. 30 වැනි  ඕවරය නිමා වන විට කඩුලූ 2 කට 159 ක් ව තිබූ ලකුණු පුවරුව 47 වැනි  ඕවරයේදී මැක්ස්වෙල් දැවී යන විට දිස්වූයේ කඩුලූ 3 කට 337 ක් වශයෙනි.

එක්දින තරග 45 කට සහභාගි වූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ හොඳම එක්දින ඉනිමද මෙයයි. ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ මැක්ස්වෙල් ඇදහිය නොහැකි අයුරින් සිය පිත්ත හසුරුවමින් දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහර 10 කින් සිඞ්නි පිටියට පැමිණ සිටි නරඹන්නන් පිනවූයේය.

සිය පළමුවැනි  ඕවරයේදීම ඒරන් ෆින්ච් දවාගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ සීකුගේ ප‍්‍රසන්න ඕවර 7 කදී  ඕස්ටේ‍්‍රලියනු පිතිකරුවන් ලකුණු 27 කට සීමා කරගත් නමුත් ඔහුගේ 8 වැනි  ඕවරයේදී මැක්ස්වෙල් පන්දු 5 කදී ලකුණු 16 ක් උදුරාගත්තේය. එම  ඕවරයේදී ‘පැඞ්ල් ෆ්ලික්්’, ‘රිවර්ස් ස්වීප්’ සහ ‘ෆ්ලික්’ පහර කිහිපයකින්ම සීකුගේට සංග‍්‍රහ කළ මැක්ස්වෙල් සිය සහායක පිතිකරුවා වූ ෂේන් වොට්සන් සමග එක්ව ඊළග  ඕවරයේදී ලසිත් මාලිංගගෙන්ද ලකුණු 16 ක් උදුරා ගත්තේය.

මැක්ස්වෙල් සහ වොට්සන් දෙදෙනාත් ඔවුන් පසුපසින් පැමිණි පිතිකරුවන් කිහිපදෙනාත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ අවසන් ඕවර 10 දී ලකුණු 123 ක් රැස්කරගත්හ.

පන්දු 26 කදී සිය අර්ධ ශතකය ලබාගත් මැක්ස්වෙල් සහ වොට්සන් එක්ව පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර 5 දී ලකුණු 54 ක් රැස්කරමින් 40 වැනි ඕවරය වන විට තම පිලේ ලකුණු වේගය 6.325 දක්වා ඉහළ දමා ගත්තේ පසුපසින් එන පිතිකරුවන්ට සිය ප‍්‍රහාරය දියත් කිරීම සඳහා කදිම වේදිකාවක් සකස්කර දෙමිනි.

එහෙත් මේ සියල්ල කළ හැකිවූයේ මයිකල් ක්ලාක් සහ ස්ටීවන් ස්මිත් දෙදෙනා එක්ව ගොඩනැංවූ ලකුණු 134 ක සම්බන්ධතාව මත සිටිමිනි.

මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මයිකල් ක්ලාක් ලකුණු 68 කට දැවී යාමත් තිසර පෙරේරාගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් ස්ටීව් ස්මිත් ලකුණු 72 කට දැවී යාමත් අතර පරතරය පන්දු 3 ක් පමණක් වූවත් 40 වැනි ඕවරය වන විට ලකුණු 76 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබූ මැක්ස්වෙල් සහ වොට්සන් දෙදෙනා ඕස්ටේ‍්‍රලියානු පිල අපේක්‍ෂිත මාවතට කැඳවාගෙන ඇවිත් තිබිණ.

දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි ෂේන් වොට්සන්ට තේරීම් කමිටු ප‍්‍රධානියා මෙම තරගයේදී දුන් අවස්ථාවෙන් අනගි ප‍්‍රයෝජන ගත් තුන් ඉරියව් කී‍්‍රඩකයා කිසිදු අපහසුතාවකින් තොරවම පන්දුවට මුහුණ දෙමින් ලකුණු 67 ක් ලබාගැනීමට මුහුණ දුන්නේ පන්දු 41 කට පමණි. ඊට හතරේ පහර 7 ක් සහ අලංකාර හයේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 41 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ලසිත් මාලිංග සහ සීකුගේ ප‍්‍රසන්න සමත් වූහ.

තත්ත්වය තේරුම් ගනිමින්, ඉතා සීරුවෙන් සිය ඉනිම ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් සහ මයිකල් ක්ලාක් දෙදෙනා 24 වැනි ඕවරයේ සිට ප‍්‍රහාරය ආරම්භ කරමින් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (2)

චන්දිමාල්ගේ නික්මයාමෙන් සටන පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.