Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ජයග‍්‍රහණයෙන් එපිට ඉසව්වකට ඇස

ජයග‍්‍රහණයෙන් එපිට ඉසව්වකට ඇස

ශනුක අරවින්ද - 2015 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තරගයක් ඉතිරිව තිබියදීම, ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින නමුත් ස්කොට්ලන්තයට එරෙහිව හෙට (11 වැනිදා) හොබාර්ට් නුවර බෙලරිව්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේදීත් සිය උපරිම ශක්තියෙන් තරග වැදීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවී තිබේ.

එංගලන්තය ලකුණු 15 කින් පරාජය කරමින් බංග්ලාදේශය පෙරේදා (9 වැනිදා) රාති‍්‍රයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු පුවරුවේ සිවුවැනි තැනට පත්කරමිනි. එය බලාපොරොත්තු වූවක් නොවේ. ඇරත් බංග්ලාදේශය සහ නවසීලන්තය අතර මෙ මස 13 වැනිදා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකි යයි දැනටමත් කාලගුණ අනාවැකි පළවී ඇති හෙයින් කල් තබාම තුන්වැනි ස්ථානය තහවුරු කරගැනීම වඩාත් යහපත්ය.

එබැවින් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිල ඇස ගසාගෙන සිටින්නේ හුදෙක් ජයග‍්‍රහණය දෙසම නොව ඉන් එපිට ඉසව්වක් කරාය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ලබාගතහොත් අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අපි‍්‍රකාව මුණගැසිය හැකි නමුත් ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත්වුවහොත් මුහුණ දීමට සිදුවන්නේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ඉන්දියාවයි. එහෙත් සිඞ්නි වැනි කී‍්‍රඩාංගණයකදී ඉන්දියානුවන් හමුවීමට වඩා දකුණු අපි‍්‍රකානුවන් මුණගැසීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කැමත්තෙන් සිටිති. ලෝක කුසලාන තරගාවලියේදී ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය කරගත් ආත්ම විශ්වාසය ස්කොට්ලන්තයත් පරාජය කරමින් රැකගැනීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවයි. එබැවින් පර්යේෂණ කිරීමට මේ වෙලාව නොවේ.

බෙලරිව්  ඕවල් පිටියේදී අද දහවල් පැවැති පුහුණුවීම් අවසන් කිරීමෙන් පසුව මාවන් අතපත්තු කීවේ සෑම තරගයක්ම ඉතාමත් වැදගත් තරගයක් ලෙසින් තමන් සලකන බවත් මෙම තරගාවලියේ ස්වභාවය අනුව කිසිවක් සැහැල්ලූවෙන් ගැනීමට තමන්ට අවසරයක් නැති බවත්ය.

”හතරේ සීමාවෙන් ඇතුළට යන හැම අවස්ථාවකදීම අපට හැකි හොඳම ආකාරයෙන් කී‍්‍රඩා කිරීම අපේ ක‍්‍රමයයි” යයිද ශී‍්‍ර ලංකා පුහුණුකරුවා පැවසීය.

පිතිකරුවන් සම්බන්ධයෙන් නම් කරදර වීමට දෙයක් නැත. දිනේෂ් චන්දිමාල් තුවාල ලබා කණ්ඩායමෙන් ඉවත්ව ගියද උපුල් තරංගට හෝ කණ්ඩායමට අලූතින් එක්වූ කුසල් ජනිත් පෙරේරාට චන්දිමාල්ගේ තැනට ඇතුළු විය හැකිය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරුවාද වන ටෙ‍්‍රවර් පෙනී සමග පන්දු රැුකීම පුහුණු වෙමින් සිටි කුසල් ජනිත් පෙරේරාට තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ කොටසට පිවිසීමට පෙර තරගයක් දීමට නම් ඉතිරිව ඇත්තේද හෙට තරගයම පමණි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ස්කොට්ලන්තයට එරෙහිව පිතිකරුවන් සහ පන්දු යවන්නන් 7-4 අනුපාතයට යොදාගන්නවාද නැතහොත් 8 - 3 අනුපාතයට යොදාගන්වාද යන්න පිළිබඳවය.

එය එක්තරා අන්දමකින් අවදානම් සහගත සෙල්ලමකි. ස්කොට්ලන්ත පිලද හොඳ පිතිකරුවන් කිහිප දෙනකුගෙන්ම සමන්විතය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ස්කොට්ලන්ත පිල කඩුලූ 8 කට ලකුණු 318 ක් ලබාගැනීමට සමත් විය.

තවත් අතකින් බලන කල්හි ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට මෙය ඉතා නරක කලදසාවක් බවත් රහසක් නොවේ. එවන් තත්ත්වයක් යටතේ ස්කොට්ලන්ත පිල, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් හොඳ ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්කළහොත් ඉන් අනතුරුව සිදුවිය හැක්කේ කුමක්ද සිතා බැලිය යුතු කාරණාවකි.

හොබාර්ට්හි ‘ඩර්වන්ට් නදිය’ ආසන්නයේම, විශාල ජලතලාවකට මුහුණලා තිබෙන බෙලරිව්  ඕවල් පිටිය අවට පරිසරයේ උෂ්ණත්වය රාති‍්‍රයේදී සෙල්සියල් අංශක 12 කට තරම් පහළ බසින බැවින් රාති‍්‍රයේ පවතින දැඩි සීතල ස්කොට්ලන්ත වේග පන්දු යවන්නන්ට වාසිදායක විය හැකිය.

මෙවන් තරගාවලියකදී  ඕනෑම දෙයක් සිදුවිය හැකි අතර බොහෝ විට සිදුවන්නේ අපේක්‍ෂා කළ දෙයම නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇති අවිනිශ්චිත තාවද එයමය. කෙසේ වෙතත් මේ දක්වා එකම තරගයක් හෝ කී‍්‍රඩා නොකළ දුෂ්මන්ත චමීර තරගයකට යොදවා ඔහු සූදානමින් තැබීමත් අත්‍යවශ්‍ය කාරණාවක් වී තිබේ.

අනෙක් අතට එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී බීමර් පන්දු දෙකක් යැවීම නිසා තහනමට ලක්වූ සුරංග ලක්මාල්  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි නුවරදී කී‍්‍රඩා නොකළ නමුත් ලෝක කුසලාන තරගාවලිය පුරාම ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියේය. සුරංගගේ හොඳ පන්දු වලට ලැබෙන උඩපන්දු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතින් ගිළිහී යාම නිසා සුරංග තරමක අවාසනාවන්ත පන්දු යවන්නකු වූවත් ඉතාමත් සාර්ථක අනාගතයක් ඇති කී‍්‍රඩකයකු වන සුරංග පිළිමළුන් පිටු දැකීමේ වටයට පෙර සූදානමින් තැබීමත් සුදුසුය.

හෙට තරගයේදී මෙම කරුණු සියල්ලම සලකා බැලීමට සිදුවන නමුත් ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ සිටින බැවින් සුරංග ලක්මාල්, නුවන් කුලසේකර සහ දුෂ්මන්ත චමීර යන තිදෙනාගෙන් කී‍්‍රඩා කළ හැක්කේ අයකුට හෝ දෙදෙනකුට පමණි. යම් හෙයකින් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දිය හැකිවුවහොත් එය ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නන්ට ඉතාමත් වාසිදායක විය හැකිය.

හරිත වර්ණයෙන් බැබළෙන හොබාර්ට් කී‍්‍රඩාංගණයේ තණතීරුව තරමක් කහ පැහැය ගෙන තිබුණ නමුත් ද`ග පන්දු යවන්නන් ගැන එතරම් බලාපොරොත්තු තැබිය හැකි නොවේ. මක්නිසාද යත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග නීතිරීති අනුව කඩුල්ලේ දෙපසින් පන්දු දෙකක් භාවිතයට ගැනීමත්, තණතීරුව සම්බන්ධයෙන් දී ඇති නිර්දේශ අනුව පන්දු යවන්නන්ට කිසිදු සහායක් නොලැබීමත් නිසාය.

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග 33 කදී 20 වතාවක් ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර තුන් වතාවක් ලකුණු 400 සීමාව ඉක්මවා ලකුණු ලබාගැනීමට කණ්ඩායම් සමත් වී තිබේ. මීට දින 4 කට ඉහතදී, හොබාර්ට්හි බෙලරිව්  ඕවල් පිටියේදීම අයර්ලන්ත පිල කඩුලූ 8 කට ලකුණු 331 ක් ලබාගත් නමුත් සිම්බාබ්වේ පිලද ලකුණු 326 ක් ලබාගැනීමට සමත් විය.

මෙම සියලූ කරුණු සම්පිණ්ඩනය කරන කල්හි, තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති රටක් වුවද, ස්කොට්ලන්තය කිසිසේත්ම සැහැල්ලූවෙන් ගතහැකි කණ්ඩායමක් නොවේ. ඇරත් ඇෆ්ඝනිස්ථානයට හමුවේ භයංකාර සිහිනයක් දකිමින් සිට ශී‍්‍ර ලංකා පිලට මහේල, මැතිව්ස් සහ තිසර නිසා සිහිනයෙන් අවදි විය හැකි විය. මේ සැහැල්ලූවෙන් නිදාගත හැකි තරගාවලියක් නොවේ.

ශී‍්‍ර ලංකා සංචිතය :
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් සහ රංගන හේරත්

ස්කොට්ලන්ත සංචිතය :
පීටර් මොම්සන් (නායක), කයිල් කොයිට්සර්, රිචී බැරින්ටන්, ෆ්‍රෙඞී කෝල්මන්, මැතිව් ක්‍රොස්, ජොස් ඬේවි, ඇලස්ඩෙයාර් එවන්ස්, හමීෂ් ගාඩිනර්, මජීඞ් හක්, මයිකල් ලීස්ක්, මැතිව් මචන්, කැලම් මැක්ලියොඞ්, සෆියාන් ෂරීෆ්, රොබට් ටේලර් සහ ඉයන් වෝඞ්ලෝ


අදහස් (1)

ජයග‍්‍රහණයෙන් එපිට ඉසව්වකට ඇස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.