Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ඩුමිනිගේ ශතකයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 455 ක්

ඩුමිනිගේ ශතකයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 455 ක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) තේ පානයෙන් පසුව තම ශතකය ලබා ගත් ජේ. පී. ඩුමිනි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 455 ක් දක්වා ඉහළ දැමීය. ඩුමිනිගේ ශතකයත් සමගින් මෝනි මෝකල් දැවී යාම නිසා කඩුලු 9 කට ලකණු 455 ක් ලබා සිටියදී දකුණු අප්‍රිකානු මුල් ඉනිම නතර කරන ලදි.

අද සවස තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය.

ඩුමිනිට අගනා සහායක් දුන් මෝනි මෝකල් නොදැවී ලකුණු 22 ක් ලබාගනිමින් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට දායක වූ අතර පන්දු 74 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබාගත්තේය.

තණතීරුවේ හො‍ඳම කොටස කදිමට භාවිතා කළ දකුණු අප්‍රිකානුවන්ගේ මෙම ඉනිම ඔවුන් ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉනිමකදී ලකුණු 400 සීමාව ඉක්මවා ගිය තුන්වැනි අවස්ථාව විය.

දිවා ආහාරයත් තේ පානයත් අතර යැවුණු ඕවර 28 කදී ලබාගත් ලකුණු 83 න් ලකුණු 50 කම හිමිකරුවා වූ ජේ. පී. ඩුමිනි තම සහායක පිතිකරුවන් ආරක්ෂා කරගනිමින් සම්බන්ධතා ගොඩනැංවීය. තේ පානයෙන් පසුවද පසුපස නොබැලූ වමත් පිතිකරුවා පන්දු 206 කදී සිය ශතකය ලබාගත්තේ හතරේ පහර 10 කින් එය සරසමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අද දිනයේදී දවාගත හැකිවූයේ පසුපෙළ කඩුලු 4 ක් පමණි. ඉදිරි පෙළ කඩුලු 5 ක් බි‍ඳ වැටුණු ඊයේ (16) මුරකරු පිතිකරු ලෙසින් ඩේල් ස්ටෙයින් පිටියට එවමින් ඩුමිනි රැකගත් දකුණු අප්‍රිකානුවෝ එම තීරණයේ උපරිම ප්‍රෙයා්ජන ලබාගත්හ. ඊයේ පන්දු රකිමින් සිටියදී අත තුවාල කරගැනීම හේතුවෙන් මැහුම් 8 ක් දමාගත් ශමින්ද එරංග අද දිනයේ පිටියට පිවිසීමෙන් වැළකී සිටියේය.

ඩුමිනි ලකුණු 82 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට ගැසූ පහරක් වැරදී යාම හේතුවෙන් ලැබුණු පහසු උඩපන්දුවක් මිඩ් ඕෆ්හි සිටි ඩිල්රුවන් පෙරේරා අතින් ගිළිහී ගියේය. එම උඩපන්දුව රැකගත්තේ නම් දකුණු අප්‍රිකානුවන්ගේ 9 වැනි කඩුල්ල ලකුණු 433 දී බිම දමාගත හැකිව තිබිණ.

දකුණු අපි‍්‍රකානු පිල ලකුණු 400 සීමාවට ඇදගෙන යාමේ බර එහැම පිටින්ම බාරගත් වමත් පිතිකරුවා ඉතා සාර්ථක ආකාරයෙන් තම අභියෝගයට මුහුණ දුන්නේ විනාඩි 261 ක් තුළදී පන්දු 206 ක් පුරා තම කඩුල්ල රැකගනිමිනි.

මුරකරු පිතිකරු වශයෙන් ඊයේ සවස පිටියට පිවිසි ඬේල් ස්ටෙයින් අද පෙරවරුවේදී සුරංග ලක්මාල් විසින් යවන ලද යෝකර් පන්දුවක් හමුවේ ලකුණු 3 කට දැවී ගියේය. මේ අතරවාරයේදී හීන් සීරුවේ ලකුණු සොයා යමින් සිටි ක්වින්ටින් ඩි කොක් පන්දු 90 කින් ලකුණු 51 ක් ලබා ගත් නමුත් ඒවායින් වැඩි හරියක් පෙරවරුවේදී පිත්තේ දාරයේ වැදී හතරේ සීමාව කරා ඇදී යාමෙන්  ලැබුණු ලකුණු විය.

ඩිල්රුවන්ගේ පන්දුවක් ඩිකොක්ගේ පිත්තේ පිටත දාරයේ ගැටී කඩුලූ රකින්නා පසුකර යද්දී පළමු ස්ලිප්හි සිටි මහේල ජයවර්ධන එය ඩැහැගත්තේ තමන්ගේ 198 වැනි ටෙස්ට් උඩපන්දුව සම්පූර්ණ කරමිනි. ලොව වැඩිම ටෙස්ට් උඩපන්දු රැකගත් පන්දු රකින්නන් අතර තුන්වැනි ස්ථානයේ සිටින මහේලට ජැක් කලිස්ගේ උඩපන්දු 200 සමකිරීම සඳහා තවත් උඩපන්දු 2 ක් අවශ්‍යව තිබෙන අතර රාහුල් ද්‍රාවිඞ් (210) එහි ලෝක වාර්තාව සතුකරගෙන සිටී.

ලකුණු පුවරුව


අදහස් (1)

ඩුමිනිගේ ශතකයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 455 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.