Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 තිසර පෙරේරා යළිත් කණ්ඩායමට එන ලකුණු

තිසර පෙරේරා යළිත් කණ්ඩායමට එන ලකුණු

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

තිසර පෙරේරා පුහුණු සැසියේදී

 

සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (23) දිවා තරගයක් ලෙස පැවැත්වේ. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

සූරියවැව ක‍්‍රීඩාංගණයේදී අද (22) පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ අද පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂාකර අවසන් 11 දෙනා තෝරාගන්නා බවත් සුරාජ් රන්දීව් පිට දඟ පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කරන බවත්ය.

‘‘චන්දිමාල් සහ අෂාන් ප‍්‍රියංජන් ලකුණු අතර ඉන්නවා. සීකුගේ ප‍්‍රසන්න ‘ඒ’ කණ්ඩායමේ දස්කම් දක්වා තිබෙනවා. මට කියන්න බෑ කවුරු ක‍්‍රීඩා කරයි ද කියලා. මාලිංග තරගයට සූදානම්. ඔහු අද පුහුණු සැසියේදී පන්දු යැව්වා. නමුත් හෙට පෙරවරුවේ පන්දු යවලා සුව අතට පත්ව සිටියොත් ක‍්‍රීඩා කරනවා’’  

‘‘අපිට ලෝක කුසලාන තරගාවලියට පෙර තරග 15 ක් තියෙනවා. මගේ කණ්ඩායමේ වෙනස් කරමින්, පරීක්‍ෂණයන්ට අවස්ථාව ලබා දෙමින් ලෝක කුසලානය සදහා හොදම කණ්ඩායම නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා’’

‘‘පාකිස්තානු කණ්ඩායම ඉතාමත් හොද වගේම භයානක කණ්ඩායමක්, ඒ නිසා අපිට මෙම තරගාවලිය ලොකු අභියෝගයක්. අජ්මාල් වගේම සෙසු පන්දු යවන්නන්ද දක්‍ෂයි, විශේෂයෙන්ම සහිඞ් අෆ්රිඩි ප‍්‍රබල පන්දු යවන්නෙක්. අපි තනි පන්දු යවන්නකු පිළිබදව නොව පාකිස්තානු පන්දු යැවීමේ බලඇනිය පිළිබදව අවධානය යොමු කරනවා’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් පැවසුවේ ටෙස්ට් තරගාවලියෙන් පසුව එක්දින තරග සදහාම ප‍්‍රවීණයන් වූ ක‍්‍රීඩකයන් කණ්ඩායමට එක්වීම වඩාත් වැදගත් බවයි.

‘‘කණ්ඩායමට නව ක‍්‍රීඩකයන් කීප දෙනෙකු එකතු වී සිටිනවා. ඒ අතර එක්දින තරග විශේෂඥයන් ඉන්නවා. සහිඞ් අෆ්රිඩි එහිදී ප‍්‍රධානයි. ඔවුන් පසුගිය මාස කීපයේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෝ ඒ පිළිබදව මා විශ්වාසයෙන් පසු වෙනවා’’

‘‘එක්දින තරගාවලිය අපිට විශේෂයි. මෙහිදී අජ්මාල්ගේ සේවය අහිමිවී තිබෙනවා. අපේ පන්දුවට පහරදීම සහ පන්දු යැවීම ඉතාමත් හොද තත්ත්වයක ඇති බව පසුගිය තරගය පිළිබදව අවධානය යොමු කළාම පැහැදිළියි. සියලූ දෙනාම තරගය සදහා හොද සූදානමකින් ඉන්නවා’’ යැයි මිස්බා වැඩි දුරටත් පැවසීය.

මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා පිල 2-0 කින් ජය ලබා ජයග‍්‍රාහි මානසිකත්වයෙන් පසුවීම විශේෂයෙන් තරගාවලියට හොද පසුබිමක් බවට පත්ව තිබෙනවා.  

ශ්‍රී ලංකාවේදී පැවැති දකුණු අප‍්‍රිකානු සංචාරයේදී දැඩි කථා බහට ලක්වූ තිසර පෙරේරා බොහෝ දුරට අද තරගයේදී ක‍්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

සුරාජ් රන්දීව් 2011 වසරේ අගෝස්තු මස 10 වැනිදා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අවසන් වරට එක්දින තරගයට ක‍්‍රීඩා කළ අතර ඒ අනුව රන්දීව් වසර තුනකට පසුව අද එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වෙයි.

29 හැවිරිදි සුරාජ් එක්දින තරග 28 කදී කඩුලූ 33 ක් දවාගෙන සිටියි.
පාකිස්තානු පිලේ ප‍්‍රබලතම දඟ පන්දු යවන්නා වන සයිඞ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී චෝදනා එල්ලවීම නිසා පන්දු යැවිමේ ඉරියවේ පරීක්‍ෂණය සදහා අජ්මාල් මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවට පිටත්ව ගොස් තිබේ. මේ හේතුවෙන් අජ්මාල්ට පළමු එක්දින තරග දෙක අහිමිවේ.

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 111 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ සිටින අතර පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 100 ක් සමගින් හයවැනි ස්තානයේ සිටියි.
හම්බන්තොට නගර ආශිත ප‍්‍රදේශයට ඊයේ පෙරවරුවේ පැය කීපයක් වාර්ෂාව ඇද හැලූණු අතර සූරියවැව ප‍්‍රදේශයට ද වාර්ෂාව ඇද හැලූණ ද එය පුහුණු සැසියට බාධාවක් නොවීය.


ශ‍්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, සීකුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව් සහ තිසර පෙරේරා

පාකිස්තානු සංචිතය:
මිස්බා උල් හක් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, අන්වර් අලී, ෆවාඞ් අලාම්, මොහොමඞ් හෆීෂ්, මොහොමඞ් අර්ෆාන්, මොහොමඞ් තල්හා, සයිඞ් අජ්මාල්, සහිඞ් අෆ්රිඩි, ශර්ජීල් ඛාන්, සොහිබ් මක්ෂූඞ්, උමාර් අක්මාල්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, යුනිස් ඛාන් සහ ෂුල්ෆිකාර් බාබාර්

 

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (4)

තිසර පෙරේරා යළිත් කණ්ඩායමට එන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.