Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දකුණු අප‍්‍රිකාව 2-1 කින් ජය ලබයි

දකුණු අප‍්‍රිකාව 2-1 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත ‘රෝයල් ස්ටැග් ක‍්‍රිකට් ගියර්’ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ලකුණු 82 ක ජයක් ලැබූ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ 2-1 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලි ජයග‍්‍රහණයත් සමග දකුණු අප‍්‍රිකාව එක්දින ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පත්වේ. මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර තෙවැනි ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට ඇද වැටේ.

දකුණු අප‍්‍රිකාව 1993 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ එක්දින තරගාවලිවලට සහභාගි වී ඇති අතර තරගාවලි ජයග‍්‍රහණයක් ලැබීමේ අවස්ථාව උදාවූයේ වසර 21 කට පසු වීම කැපී පෙනේ.

ලකුණු 340 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 257 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටියදී අඩි හයකට වඩා උස ක‍්‍රීඩකයකු වන මොනේ මොර්කල්, ෂෝට් ෆයින්ලෙග් ස්ථානයේ රැකගත් අති විශ්ෂ්ට උඩ පන්දුව හමුවේ සටන අතහැර දැමීමට සිදුවිය. මැතිව්ස් දැවී යන විට පන්දු 81 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් ලබා සිටියේය.  

නායක ඇන්ජලෝ මැතිව්ස් (58) සහ අෂාන් ප‍්‍රියංජන් (30) හයවැනි කඩුල්ලට ලකුණු 83 ක සම්බන්ධතාවක් පවත්වමින් සටන්කාමී පිතිහරඹයක නිරත වුවද 40 වැනි ඕවරයේදී ප‍්‍රියංජන් දැවී ගියේය.

ශ‍්‍රී ලංකාව 34 වැනි  ඕවරයේදී පිතිකරු අධිවේගී  ඕවර පහ ලබාගත් අතර එහිදී රැස්කළ හැකි වූයේ ලකුණු 39 ක් පමණි.  

ළහිරු තිරිමාන්න ලකුණු 13 ක් ලබා සිටියදී කඩුලූ රකින්නානට උඩ පන්දුවක් ලබාදී දැවී ගිය බවට ශ‍්‍රී ලංකා විනිසුරු රැන්මෝ මාර්ටිනස් තීරණය කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදය තව දුරටත් තිරිමාන්නට කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව ලබා දුන්න ද ඉන් ප‍්‍රයෝජන ගැනීමට අපොහොසත් විය.

ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් තිදෙනා වන තිලකරත්න ඩිල්ෂාන්, සංගක්කාර සංගක්කාර (36) සහ මහේල ජයවර්ධන (02) ලකුණු 6 ක් තුළ දැවී යෑමෙන් 14 වැනි  ඕවරයේදී කඩුලූ 4 ට ලකුණු 113 ක් බවට පත්විය.

තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට පන්දු 34 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද තිලකරත්න ඩිල්ෂාන් (30) දුවද්දී දැවී ශ‍්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් විය.   

කුසල් පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 25 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 339 ක් රැස් කිරීමට සමත් වූහ. මෙම ලකුණු 339 සූරියවැව ක‍්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ශ‍්‍රී ලංකා පිල 2011 වසරේ කැනඩාවට එරෙහිව රැස්කළ ලකුණු 332 ක මීට පෙර වැඩිම ලකුණු ලෙස පැවතුණි.

නායක ඒ. බී. ඩිවිලියස් සුපුරුදු පරිදි ඇගට නොදැනී වේගවත් ඉනිමක් ක‍්‍රියාත්මක කරමින් පන්දු 71 කදී ලකුණු 108 ක් ලකුණු පුවරුවට එකතු කළේය. ඩිවිලියස්ගේ ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් විය. ඩිවිලියස්ගේ 17 වැනි එක්දින ශතකය පන්දු 66 කදී සම්පූර්ණ විය.

ඩිවිලියස් පිට ඉන්නෙන් මෑත්වී පිට ඉන්න දෙසින් ගැසූ හයේ සහ හතරේ පහර නතර කිරීමේ හැකියාව ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සතු වූයේ නම් ඔහු පාලනය කිරීමට තිබුණි.     

ශ‍්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් අවස්ථා දෙකක් ලැබූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඞී කොක් පන්දු 127 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 128 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. සිය 19 වැනි එක්දින තරගයට සහභාගි වූ 21 හැවිරිදි කොක්ගේ පස්වැනි ශතකය මෙය වීම කැපී පෙනේ.

ක්වින්ටින් ඞී කොක් සහ සහ නායක ඒ. බී. ඩිවිලියස් තෙවැනි කඩුල්ලට පන්දු 91 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව දක්වා මෙහෙයවූහ. කොක් සහ ඩිවිලියස් පිතිකරු අධිවේගී ඕවර පහ තුළදී ලකුණු 52 ක් රැස් කිරීමට සමත් වූහ.  

දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ අනුකම්පා විරහිතව පහර දෙමින් අවසන්  ඕවර 10 යේදී ලකුණු 95 ක් රැස් කළහ.

දකුණු අප‍්‍රිකානු ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ජැක් කලිස් නැවතත් අසාර්ථක වෙමින් ලකුණු 4 කට දැවී ගියේය. රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී යෑම ජැක් කලිස් විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ ද එහිදී දැවී යෑම ස්ථිර විය.

ක්වින්ටින් ඞී කොක්ට (71) දෙවැනි අවස්ථාවත් ලබා දෙමින් රංගන හේරත් යැවූ ඉනිමේ 24 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී ලැබුණු ස්ටම්ප් කිරීමේ පහසු අවස්ථාව කුමාර් සංගක්කාර වෙතින් ගිලිහී ගියේය.  

ආරම්භක පිතිකරුවන් වන හෂීම් අම්ලා සහ ක්වින්ටින් ඞී කොක් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.

හෂීම් අම්ලා පන්දු 61 කදී ලකුණු 48 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට හයේ පහරක් ගැසීමට ගත් උස්සහයේදී උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.
සචිත‍්‍ර සේනානායක යැවූ ඉනිමේ 10 වැනි  ඕවයේ තෙවැනි පන්දුවට ලකුණු 38 ක් ලබා සිටිය ක්වින්ටින් ඞී කොක් ලබා දුන් උඩ පන්දුව එක්ස්ට‍්‍රා කවර්ස්හි පන්දු රකිමින් සිටි අෂාන් ප‍්‍රියංජන්ගේ අතේ වැදී බිම පතිත විය. ඒ වන විට මුඵ ලකුණු සංඛ්‍යාව 57 කි.  

දකුණු අප‍්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙවැනි තරගයට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන නුවන් කුලසේකරගේ ස්ථානයට මෙම තරගයේදී පා දග පන්දු යවන රංගන හේරත් කැදවා තිබේ. වේග පන්දු යවන වර්නන් පිලන්ඩර් වෙනුවට දකුණු අප‍්‍රිකානු පිලට වමතින් වේග පන්දු යවන වේන් පර්නෙල් කැදවා සිටියි.

 

ලකුණු පුවරුව

තරගයේ නවතම තත්වය

තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශාන්ත රත්නායක)


අදහස් (9)

දකුණු අප‍්‍රිකාව 2-1 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.