Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පන්දු යවන්නෝ සවස් වරුවේ තරගයට කඩාවදිති

පන්දු යවන්නෝ සවස් වරුවේ තරගයට කඩාවදිති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

තේ පානයෙන් පසුව තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ලකුණු 71 ක් තුළදී මැද පෙළ පිතිකරුවන් 4 ක් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීම නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින ක්‍රීඩාව නතර කරන විට සංචාරක පිලේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 268 ක් දක්වා සීමා කෙරිණ.

කාසියේ වාසිය දිනා පළමුව පිතිහරඹය තෝරා ගත් දකුණු අප්‍රිකානුවෝ තේ පානය වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. එ් වන විට සාර්ථක පිතිහරඹයක යෙදෙමින් සිටි ඩීන් එල්ගා (103) දවාගැනීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමගම රංගන හේරත් අනෙක් අන්තයෙන් පැමිණ හසිම් අම්ලා පිටියෙන් ඉවත් කළේය.

 හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ෆෆ් ඩු ප්ලෙසිද ලකුණු 80 කට දැවී යාම නිසා දකුණු අප්‍රකානුවන් තරමක් පරෙස්සම් සහගත ගමනකට අවතීර්ණ වූ නමුත් දිනයේ යැවීමට තිබූ අවසන් ඕවරයේදී පිට ඉන්නේ ඇතුළට දෝලනය වූ අලංකාර පන්දුවකින් ඩිවිලියර්ස්ගේ ඉනිම නිමා කළ සුරංග ලක්මාල් තම කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හා කරට කර තැබීය.

දිවා ආහාරයට පෙර ලකුණු 111 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ දිවා ආහාරයත් තේ පානයත් අතර ඕවර 32 කින් ලබාගත්තේ ලකුණු 83 ක් පමණි. අම්ලා දැවී යාමෙන් පසු තවදුරටත් කඩුලු ආරක්ෂා කිරීම අරමුණු කරගත් සංචාරක කණ්ඩායම තේ පානයෙන් පසුව යැවූ ඕවර 31 න් ලබාගත්තේ ලකුණු 74 කි.

අද දිනයේ එරංගගේ පන්දු යැවීම ඕවර 9 කට පමණක් සීමා විය. පන්දු රැකිමේදී අත තුවාල කරගැනීම හේතුවෙන් එරංගගේ මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් අතරට මැහුම් 8 ක් දමා ඇති අතර හෙට දිනයේදීත් ඔහුගේ පන්දු යැවීම සැක සහිත බව කියැවේ.

එරංග ඉවත්ව යාම නිසා දඟ පන්දු යවන්නන්ට වැඩ අධික දිනයක් වූ නමුත් ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් එම අභියෝගය බාරගනිමින් දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල සැනසිලිදායක තත්ත්වයකට ගෙන ආහ.

පැය හතරක කාලයක් තිස්සේ පන්දු 187 කට මුහුණ දුන් ඞීන් එල්ගා හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 103 ක් ලබා ගත් අතර සිය ශතකය සම්පූර්ණ කළේ ඩිල්රුවන් පෙරේරාට ගැසූ දැවැන්ත හයේ පහරකිනි.


මෙම තරගය සඳහා ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදවා ගැනීමට ඊයේ සාකච්ඡා කරමින් තිබුණ නමුත් අවසන් මොහොතේදී එම තීරණය වෙනස් කරමින් වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදාගැනීමට තීරණය විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ යම් හෙයකින් කාසියේ වාසිය අහිමි වුවහොත් ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සිතා බැලීමයි.

ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය අහිමි කරගත් හෙයින් අවසානයේදී එම සිතිවිල්ල ඉතාමත් ප්‍රතිඵල දායක විය.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (2)

පන්දු යවන්නෝ සවස් වරුවේ තරගයට කඩාවදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.