Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මහේල - සංගා සුසංයෝගයෙන් ශ්‍රී ලංකා වාසිය 165යි

මහේල - සංගා සුසංයෝගයෙන් ශ්‍රී ලංකා වාසිය 165යි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

කොළඹ එස්. එස්. සී. පිටියේදී නව ටෙස්ට් වාර්තාවක් පිහිටවූ රංගන හේරත් ලකුණු 127 කට කඩුලු 9 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) පාකිස්තානු මුල් ඉනිම ලකුණු 332 කට සීමා කළේය.

පාකිස්තානු පිලට ලකුණු 12 ක් මුල් ඉනිමේ වාසියක් ලැබුණ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 54) සහ මහේල ජයවර්ධන (නොදැවී 49) දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පිලේ වාසිය ලකුණු 165 දක්වා ඉහළ දැමූහ.

දෙවැනි වතාවටත් පාකිස්තානු ක්‍රීඩකයන්ගේ ආචාරය මැදින් පිටියට පිවිසි මහේල ජයවර්ධන සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර මේ වන විට තම 50 වැනි අර්ධ ශතකයට ලකුණක් මෑතින් සිටී. සංගක්කාර, විනාඩි 183 කදි පන්දු 118 කට මුුහුණ දෙමින්, හතරේ පහර 4 ක්ද සහිතව සිය 51 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

වසර 17 ක අති විශිෂ්ට ටෙස්ට් දිවියක අවසන් ටෙස්ට් ඉනිමේදීත් සිය විශ්වාසවන්තම සගයා වන කුමාර් සංගක්කාර සමග එක්ව තවත් ටෙස්ට් වාර්තාවක් කරා ගිය මහේල ජයවර්ධන ටෙස්ට් පිතිකරුවන්ගේ සම්බන්ධතා ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිය නම සටහන් කරගත්තේය. සංගක්කාර සමග එක්ව මේ දක්වා ටෙස්ට් තරග වලදී ලකුණු 6545 ක් රැස්කිරීමට දායක වූ මහේල ජයවර්ධන අද දිනයේ සිය සුපුරුදු පහර වලින් එස්. එස්. සී. ක්‍රිඩාංගණයට රැස්ව සිටි සීමිත ප්‍රේක්ෂක පිරිස අමන්දානන්දයට පත්කළේය.

මේ වන විට ටෙස්ට් සම්බන්ධතා ලයිස්තුවේ මහේල සහ සංගක්කාර දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් දෙදෙනාට (ලකුණු 6920) පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින කුමාර් සංගක්කාර මේ වන විට ටෙස්ට් ලකුණු 11.983 ක් රැස්කරගනිමින් ලකුණු 12,000 කඩයිමට තවත් ලකුණු 17 ක් මෑතින් සිටී. මෙම ලකුණු 17 ත් මහේලගේ 50 වැනි අර්ධ ශතකය හෝ 35 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමත් දෙදෙනාටම ඕනෑ තරම් කාලය ඉතිරිව තිබේ.

වසර 32 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිමකදී කඩුලු 9 ක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස රංගන හේරත් වාර්තා පොතට එක්වූයේ එස්. එස්. සී. පිටියේදී පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. මීට පෙර එස්. එස්. සී. පිටියේදී වාර්තා වූ හොඳම ටෙස්ට් පන්දු යැවීම වූයේ මුත්තයියා මුරලිදරන් විසින් ඉන්දියාවට එරෙහිව ලකුණු 87 කට කඩුලු 8 ක් දවාගැනීමයි.

ලකුණු 127 කට කඩුලු 9 ක් දවාගත් රංගනගේ දස්කම වසර 137 ක ලෝක ටෙස්ට් ඉතිහාසයේ වමත් දඟ පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද විශිෂ්ටතම පන්දු යැවීමයි. හේරත් තනි ඉනිමකදී කඩුලු 9 ක් දවාගැනීමට පෙර වමත් දඟ පන්දු යවන්නකුගේ හොඳම පන්දු යැවීම වූයේ වර්ෂ 1889 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ජොනී බ්‍රිග්ස් විසින් ලකුණු 11 කට කඩුලු 8 ක් බිඳහෙළීමයි.

එහෙත් ඇත්ත වශයෙන්ම ලෝක ටෙස්ට් ඉතිහාසයේ වමත් වේගපන්දු යවන්නකුවත් තනි ඉනිමකදී කඩුලු 9 ක් දවාගෙන නැති බැවින් රංගනගේ පන්දු යැවීම වමත් කාරයකුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

අත්ල නළලට ගෙන එන ආකාරයේ අවදානම් පහර කිහිපයක්ම ගැසූ උපුල් තරංග පන්දු 63 කට මුහුණ දෙමින් ලකුණු 45 ක් ලබා දැවී ගියේය. පැය එක හමාරකට වැඩි කාලයක් පිටියේ රැඳුණ නමුත් කෞෂාල් සිල්වාට ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි. ලකුණු ලබාගැනීමට වඩා කඩුල්ල රැකගැනීමට උනන්දු වූ කෞෂාල් සිල්වා කුමාර් සංගක්කාර පිටියට පිවිසීමෙන් පසුව තරමක් සුබවාදී වුවත් ඔහුගේ ගමන ලකුණු 17 දී නතර කිරීමට අබ්දුර් රෙහෙමාන් සහ යුනිස් ඛාන් සමත් වූහ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 

 


අදහස් (3)

මහේල - සංගා සුසංයෝගයෙන් ශ්‍රී ලංකා වාසිය 165යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.