Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු පළමු එක්දින තරගය අනිද්දා

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු පළමු එක්දින තරගය අනිද්දා

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දකුණු අප‍්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියස්, ‘රෝයල් ස්ටැග් ක‍්‍රිකට් ගියර්’ කුසලාන සමග.

 

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත ‘රෝයල් ස්ටැග් ක‍්‍රිකට් ගියර්’ එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අනිද්දා (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ. තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය රටවල් දෙකටම වැදගත් වන අතර තරගාවලිය ජය ලබන කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 112 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 109 ක් ලබා සිවුවැනි ස්ථානයේ ද පසුවෙයි.

ඕස්ටේ‍්‍රලියාව (115) සහ ඉන්දියාව (112) පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමඟ අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන ක‍්‍රීඩකයා පිළිබඳව අවසන් තීරණයක් ඊයේ රාත‍්‍රි වන තෙක් ගෙන නොතිබුණි. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ආබාධයකට ලක්ව සිටින අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පරීක්‍ෂණයක් අද පැවැත්වෙන බවත් එහි ප‍්‍රතිඵලය අනුව හෙට තරගයේදී කුසල් ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (04) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

කුසල්ට ක‍්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඒ අවස්ථාව කිත්රුවන් විතානගේට ලැබෙන බවද මැතිව්ස් සදහන් කළේය.

‘‘අපි පසුගිය මාස හය පමණ කාලයක සිට ජයග‍්‍රහණ සමග ඉන්නේ මෙහිදී අපිට අවශ්‍ය අපේ ජයග‍්‍රාහි තත්ත්වය දිගටම පත්වා ගැනීමයි. තරගයක් ජය ලබා, තරගාවලියක් ජය ලබන විට ශ්‍රේණිගත කිරීමේ ඉහළ යයි’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ දකුණු අප‍්‍රිකානු පිලේ නායක ඒ. බී. ඩිවිලර්ස් පැවසුවේ ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඇතුළු තරගාවලිය රැසක් ජය ලබා ඉතාමත් ප‍්‍රබල තත්ත්වයක පසු වන බවයි.

‘‘අපෙත් හොඳ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකා පිල කිසිසේත්ම පහසුවට ගන්න බෑ. මෙම තරගාවලිය ඉතාමත් තියුණු එකක් වෙයි කියලා හිතනවා’’ යැයි ඩිවිලියර්ස් වැඩි දුරටත් පැවසීය.   
 
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මේ දක්වා එක්දින තරග 56 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 28 ක ජය ලබා තිබේ. දකුණු අප‍්‍රිකාව තරග 26 ක් ජය ලබා ඇති අතර තරගයක් සම තත්ත්වයෙන් ද තරගයක් විසඳුමකින් තොරව ද අවසන් වී තිබේ.

තරගාවලියේ දෙවැනි තරගය මේ මස 9 වැනිදා පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. අවසන් එද්නි තරගය මේ මස 12 වැනිදා සූරියවැව ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.  


ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, උපුල් තරංග, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල්

දකුණු අප‍්‍රිකා සංචිතය:
ඒ. බී. ඩිවිලියස් (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඞී කුක්, ජේ. පී. ඩුමිනි, ෆෆ් ඩූ ප්ලීසිස්, බියුරන් හෙන්ද්‍රික්ස්, ඉම්රාන් තාහිර්, ජැක් කලිස්, රයන් මැක්ලරින්, ඬේවිඞ් මිලර්, මොනේ මොර්කල්, වේන් පර්නෙල්, ඒරන් පන්ගිසෝ, වර්නන් පිලන්ඩර්, ඩෙයින් ස්ටෙයින්


 

ඡායාරූපය: ශාන්ත රත්නායක

 


අදහස් (2)

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු පළමු එක්දින තරගය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.