Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අවදානමෙන් ගැලවුණත් ශ්‍රී ලංකා පිල තවම පසුපසින්

අවදානමෙන් ගැලවුණත් ශ්‍රී ලංකා පිල තවම පසුපසින්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අපරික්ෂාකාරී පහර තේරීම හේතුවෙන් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී  තනිවම හෝ කණ්ඩායම එගොඩ කරමියි ඉටාගත් නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (18 වැනිදා) ලබාගත් ලකුණු 89 නිසා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානමෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

මැතිව්ස්ගේ ධෛර්යසම්පන්න පිතිහරඹය හේතුවෙන් අද දිනයේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 283 ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 455 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකාව ඒ වන විටත් සංචාරකයන්ට වඩා ලකුණු 172 ක් පසුපසින් සිටියේය.

ලකුණු 201 කට කඩුලු 7 ක් බිඳ වැටීමෙන් අසරණ වූ ශ්‍රී ලංකා පිල තනිවම තල්ලුකරගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහස වූයේ හැකි ඉක්මනින් ලකුණු 256 කඩයිම පසුකර පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් ගැලවීමයි.

මෝනි මෝකල්ගේ 15 වැනි ඕවරයේදී හතරේ පහර 5 ක් සමග ලකුණු 20 ක් උදුරා ගත් මැතිව්ස්, වමත් පිතිකරු රංගන හේරත් සමගින් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක් එක්කරමින් තම අරමුණ ඉටුකරගත්තේය. එම ලකුණු 71 න් මැතිව්ස් ලකුණු 59 ක හිමිකරුවා වූ අතර ඒ වෙනුවෙන් හේරත්ගේ දායකත්වය ලකුණු 7 ක් පමණි.

තේ පානයෙන් පසුව පන්දුව අතට ගත් ඩේල් ස්ටෙයින් කෝපාවිෂඨ වූ කුළු හරකෙකු සේ දිවඑමින් ලකුණු 11 කට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු දවාගත්තේ එම පන්දු යැවීමේ වාරය 5-3-08-3 ක් සේ සටහන් කරමිනි.

පිටම ටෙස්ට් ඉනිම 7 කදී අර්ධ ශතකය ඉක්මවා ලකුණු ලබාගනිමින් ලෝක වාර්තාවක් සමකර සිටි කුමාර් සංගක්කාරට එම ලෝක වාර්තාවේ තනි අයිතිය ලබාගැනීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේ ලකුණු 24 කට දැවී යාම හේතුවෙනි.

සංගක්කාරගේ පිට ඉන්න එල්ලයේ දිගින් දිගටම කෙටි පන්දු යැවූ මෝනි මෝකල් විසින් වමත් පිතිකරුවා පුල් පහරකට පොළඹවන ලදි. අඩි 6 කට වඩා උස ක්‍රීඩකයකු වන මෝකල්ගේ පන්දුවට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොතිබූ හෙයින්දෝ  පුල් පහරක් ගැසීමට ගිය සංගක්කාරගේ පිත්තේ ඇතුළත දාරයේ ගැටුණු පන්දුව කඩුල්ල වෙත ඇදී ආවේය.

ඒ වන විට කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිම සංගක්කාරගේ දැවී යාමත් සමගින් එකතැන කඩා වැටිණ.

පෙරවරුවේ තරගය ආරම්භ කිරීමෙන් පසුව යැවුණු 5 වැනි ඕවරයේදී ඬේල් ස්ටෙයින්ගේ පන්දුවකට කෞෂාල් සිල්වා ගැසූ හුක් පහරකින් ඉහළ ගිය පන්දුව සුරැකිව රැකගත් වර්නන් පිලැන්ඩර් විනාඩි 20 ක් ඇතුළතදී බලාපොරොත්තු වූ කඩුල්ල දකුණු අපි‍්‍රකානු පිලට අත්කර දුන්නේය.

වසර 7 කට පසුව ටෙස්ට් පිටියට පිවිසි උපුල් තරංග හෝරා 3 කට වැඩි කාලයක් පිටියේ රැඳී, පන්දු 155 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් අලංකාර කළේය. කෙසේ වෙතත් ඉවසීමක් නොමැතිකම හේතුවෙන් තමන් නැවත පැමිණීමේ ටෙස්ට් තරගයේදී ලබාගත හැකිව තිබු අගනා ශතකයක් තරංග අහිමි කරගත්තේය.

දඟ පන්දු යවන්නන් හමුවේ තම පාදය මනා ලෙස හසුරුවමින් ලකුණු ලබාගත් තරංග ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් හමුවේ සීමාවෙන් ඉදිරියට එමින් ගැසූ අලස පහරක් නිසා ලකුණු 83 ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමටකට ගොදුරු විය.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා


අදහස් (4)

අවදානමෙන් ගැලවුණත් ශ්‍රී ලංකා පිල තවම පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.