Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මාතර තරගයට වේග පන්දු යවන්නෝ 3 ක්

මාතර තරගයට වේග පන්දු යවන්නෝ 3 ක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී හෙට (26) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නන් තිදෙනකු ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අද (25) පෙරවරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර පාකිස්තානු පිලේ පුහුණු සැසිය පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි. තරගයට සහභාගි වන කණ්ඩායම පිළිබඳව කළ විමසුමකදී කඵවිතාරණ මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

”තණතීරුවේ තණකොළ තිබෙන බව පේනවා. ඒ නිසා වේග පන්දු යවන්නන් තුනක් ක‍්‍රීඩා කරයි. සංචිතයේ වේග පන්දු යවන්නන් පහක් ඉන්නවා. ළහිරු සහ දුෂ්මන්ත ඉදිරියෙන්ම ඉන්නේ. තවම තීරණය කරලා නෑ තෙවැනි වේග පන්දු යවන්නා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩකයකු යොදවනවා ද කියාලා”

”පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක මිලින්දට අවස්ථාව දෙන්න හිතාගෙන ඉන්නවා. පාකිස්තානු කණ්ඩායමේ වැඩි සංඛ්‍යාවක් වමත් පිතිකරුවන් ඒ නිසා පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් ගහයි. ඒ දෙන්නත් එක්ක තමයි යන්න හිතාගෙන ඉන්නේ. ෂෙහාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අෂාන් ප‍්‍රියංජන් අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නන් කණ්ඩායමේ ඉන්නවා”

”පාකිස්තානු කණ්ඩායම බැලූවොත් ටෙස්ට් ක‍්‍රීඩකයන් හතක් පමණ ඉන්නවා. අපේ කණ්ඩායම අලූත් වුණත් අපෙත් ටෙස්ට් ක‍්‍රීඩකයන් ඉන්නවා. නමුත් අපි සූදානම් ඔවුන්ට හොඳ අභියෝගයක් දීලා ජයග‍්‍රහණය කරන්න. මම හිතනවා නවක ක‍්‍රීඩකයන් මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනී කියලා”

 ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප‍්‍රියංජන් පැවසුවේ තණතීරුව පිතිකරුවන්ට සහයෝගය දක්වන බවට පෙනී යන බවයි.

”ඉතාමත් හොඳ සූදානමකින් ඉන්නවා. අද අවසන් පුහුණු සැසිය සාර්ථකව අවසන් කළා. පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කරලා අවසන් 11 තීරණය කරනවා. සංචිතයේ ආරම්භක පිතිකරුවන් සිවුදෙනෙක් ඉන්නවා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අවධානය යොමු කර ක‍්‍රීඩා කරන්නේ කවුද කියලා තීරණය කරනවා”

”ජාතික කණ්ඩායමට ආසන්නයේම ක‍්‍රීඩා කළ දුෂ්මන්ත චමීර සහ ළහිරු ගමගේ වේග පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන්ම ඉන්නවා. නව පන්දු දෙකකින් ක‍්‍රීඩා කිරීම නිසා වේග පන්දු යවන්නන්ට වාසියක් තියෙනවා. ඒ වගේම අපිට තරිඳු කෞෂාල් සහ ලක්‍ෂාන් සඳකැන් කියන වෙනස් දඟ පන්දු යවන්නන් දෙදෙනකු ඉන්නවා”
”මා පිතිකරුවකු ලෙස හොඳින් පුහුණුවීම කළා. පිතිකරුවකු ලෙස ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අෂාන් වැඩි දුරටත් පැවසීය.

ෆාවාඞ් අලාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු ‘ඒ’ පිලට බංග්ලාදේශයේ පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් තිදෙනෙක් අද පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

මාතර ප‍්‍රදේශයට මේ දක්වා වර්ෂාවෙන් බාධාවක් නොවූව ද අවට ප‍්‍රදේශයට වර්ෂාව ලැබෙන බව වාර්තා වේ.  


ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරිඳු කෞෂාල්, ලක්‍ෂාන් සඳකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක


පාකිස්තානු ‘ඒ’ එක්දින සංචිතය:
ෆාවාඞ් අලාම් (නායක), උමීර් අමීන් (උප නායක), කුරාම් මන්සූර්, උමීන් සිද්දික්, අලී වකාස්, ඉම්මාද් වසිම්, ශෆාර් ගොහාර්, ශෂුබ් අහ්මඞ්, මීර් හම්ෂා, බිලාවල් බට්ටි, මොහොමඞ් රිස්වාන්, මුක්තාර් අහ්මඞ්, සාද් නසීම්, එසාන් අදිල්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්

 


අදහස් (0)

මාතර තරගයට වේග පන්දු යවන්නෝ 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.