Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 විලියම්සන් දිගු ගමනකට සැරසෙයි

විලියම්සන් දිගු ගමනකට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඞ්ස්  ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22 දා) සවස තරගය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත පළමු ඉනිම අභිබවා යෑමට කඩුලූ 2 ක් අතැතිව සිටින නවසීලන්තය තවත් ලකුණු 86 ක් ලබා ගත යුතුවේ.

පළමු දිනය නිමා වන විට කඩුලූ 7 කට ලකුණු 354 ක් ලබා සිටි එංගලන්ත පිලේ ඉතිරි කඩුලූ 3 පන්දු ඕවර 10.5 කදී ලකුණු 35 ක් ඇතුළතදී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එංගලන්ත ඉනිම බිද දැමීමේදී ටේ‍්‍රන්ට් බෝල්ට් සහ මැතිව් හෙන්රි කඩුලූ 4 බැගින් බිද දැමූහ.

දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර පළමු ඉනිම ඇරඹු නවසීලන්ත පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට මාටින් ගප්ටිල් සහ ටොම් ලෙතම් දෙදෙනා සමත් වූහ. ඔවුන් දෙදෙනා පන්දු 210 කදී ලකුණු 148 ක සබඳතාවක් පිහිටුවා තිබියදී පළමු කඩුල්ල ලෙස ටොම් ලෙතම් මොයින් අලීගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 59 කට දැවී ගියේය. පන්දු 98 කදී හතරේ පහර 10 ක් සමග ලෙතම් වාර්තා කළ අර්ධ ශතකය ඔහුගේ සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසින් සටහන් වේ.

ටොම් ලෙතම් දැවී ගිය  ඕවරයට පසු යවන ලද පන්දු ඕවරයේ දෙවැනි පන්දුවේදී මාටින් ගප්ටිල් දැවී යන විට පන්දු 115 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග ලකුණු 70 ක් ලබා සිටියේය. දෙවසරකට පසුව ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කළ මාටින් ගප්ටිල් වාර්තා කරනු ලැබුවේ ඔහුගේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය වන අතර එය ඔහු අවසන් වරට ක‍්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 11 කට පසු වාර්තා කිරීම විශේෂත්වයක් වේ.  

තරගයේ දෙවැනි දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි කෙන් විලියම්සන්  (නොදැවී 92) සහ රෝස් ටේලර් (නොදැවී 47) තෙවැනි කඩුල්ල සඳහා පන්දු 250 කදී ලකුණු 155 ක සබඳතාවක් පිහිටුවා තිබිණි. සිය දහවැනි ටෙස්ට් ශතකයට ලකුණු 8 ක් මෙපිටින් සිටින කේන් විලියම්සන් පන්දු 141 කදී හතරේ 12 ක් සිය ඉනිමට එක් කර ගැනීමට සමත් විය. ඔහුගේ සහයකයා වන හිටපු නායක රෝස් ටේලර් පන්දු 109 කදී හතරේ පහර පහක් සමග අර්ධ ශතකයට ලකුණු 3 ක් පසුපසින් පසුවේ.

නවසීලන්ත පිලේ දැවී ගිය කඩුලූ දෙක ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ මොයින් අලී බිද දැමූහ. එංගලන්ත පන්දු යවන්නන් හමුවේ තරමක වේගයෙන් ලකුණු රැස් කළ නවසීලන්ත පිතිකරුවෝ පන්දු  ඕවරයකට දළ  ලකුණු 3.93 ක් රඳවා ගැනීමට සමත් වූහ.


එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 389 යි.
(ජෝ රූට් 98, බෙන් ස්ටෝක්ස් 92, ජෝස් බට්ලර් 67, මොයින් අලී  58, ටේ‍්‍රන්ට් බෝල්ට් 79/4,  මැට් හෙන්රි 93/4 යි.)

නවසීලන්තය - පළමු ඉනිම  ඕවර 77 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 303 යි.
(මාටින් ගප්ටිල් 70, ටොම් ලෙතම් 59,  කේන් විලියම්සන් නොදැවී 93, රෝස් ටේලර් නොදැවී 47, මොයින් අලී 52/1,  ස්ටුවර්ට් බ්‍රෝ්ඞ් 42/1 යි.)


අදහස් (0)

විලියම්සන් දිගු ගමනකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.