Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා පිල ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක

ශී‍්‍ර ලංකා පිල ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ගාල්ල කී‍්‍රඩාංගණයේදී මේ දක්වා පැවැති ටෙස්ට් තරගයකදී කිසිම කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලකුණු 300 ඉක්මවා ගොස් නැති නමුත් දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ලකුණු 370 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක නිරතව සිටී.

මේ වනවිට කඩුල්ලක් දැවී ලකුණු 110 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා පිල තරගය ජයගැනීමට නම් හෙට දිනයේදී යැවෙන  ඕවර 90 කින් තවත් ලකුණු 260 ක් ලබාගත යුතුය.

මෙම කී‍්‍රඩාංගණයේදී කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර දෙකකට ඉහතදී පාකිස්තානු පිල ලබාගත් ලකුණු 300 යි.

එහෙත් එම තරගයේදීත් පාකිස්තානු පිල ලකුණු 209 ක දරුණු පරාජයක් උරුම කරගත්තේය. මෙම කී‍්‍රඩාංගණයේදී තරගයක් ජයගැනීම සඳහා සිවුවැනි ඉනිමේදී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2010 දී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශී‍්‍ර ලංකා පිල ලබාගත් ලකුණු 96 යි.

හෙට දිනයේදී අපේක්‍ෂිත ඉලක්කය කරා යාම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වන මාවන් අතපත්තු මහතා ඉතාමත් සුභවාදීව සිටින නමුත් කට ඉස්සර කිරීමට ඔහු ඉක්මන් නොවේ.

”ඒක අභියෝගාත්මක ඉලක්කයක්. මේ කී‍්‍රඩාංගණයේදී කිසිම කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලකුණු 300 ඉක්මවා ගිහින් නෑ තමයි. ඒත් කී‍්‍රඩකයන්ගේ කාමරයේ ඉන්නේ ඒ වෙනුවෙන් සටනක් දෙන්න සූදානම් පිරිසක්. ඒක ගැන මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්”

”අපි හෙට දවස තුළ මේ ලකුණු සංඛ්‍යාව ලබාගන්න උත්සාහ කරනවා. ඒත් අපේ මූලික අරමුණ වෙන්නේ දිවා ආහාරයට ඉස්සරවෙලා තියෙන පැය දෙක ගතකරගන්නයි. ඒ වන විට අපි ඉන්නේ කොහේද?,තියෙන තත්ත්වය කොහොමද කියලා ඊට පස්සේ බලනවා” යයි මාවන් අතපත්තු අද සවස පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී පැවසීය.

”දකුණු අපි‍්‍රකානුවන් කොහොමත් අභියෝගාත්මක ඉලක්ක දෙන්න කැමතියි. ඔවුන් සාර්ථක වෙන්නේ ඒ ආකාරයෙන්. ඔවුන්ගේ ටෙස්ට් වාර්තාව ඒකට සාක්කි කියනවා”

”ශ්‍රේණිගත සටහනේ ඔවුන් ඉන්න තැනින් කියන්නේත් ඔවුන් නිරතව සිටින්නේ කොයි ආකාරයේ කී‍්‍රඩාවකද කියන එකයි. ඇරත් සෑම ආකාරයේම පන්දු යවන්නන් ඉන්න කණ්ඩායමක් වශයෙන්, මේ වගේ අභියෝගයක් අපට දීම පුදුම වෙන්න දෙයක් නෙමේ” යයිද ශී‍්‍ර ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

පළමු ඉනිමේදී අසාර්ථක වූ නමුත් දෙවැනි ඉනිමේදී සාර්ථක ආරම්භයක් ලබාගත් කුමාර් සංගක්කාර ඊයේ සවස වන විට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේය. එහෙත් මෙවැනි අවස්ථාවන්හිදී සංගක්කාරගෙන් දැකගත හැකි විශාලතම දුර්වලතාව නම් ආත්මවිශ්වාසය සීමාව ඉක්මවා යාමෙන් කඩුල්ල අහිමි කරගැනීමයි. හෙට පෙරවරුවේදී එවන් පහරකට නොයන්නේ නම් සංගක්කාරගෙන් දිගු ඉනිමක් බලාපොරොත්තු විය හැකිය.

”දන්නවානේ....ලකුණු 100 ක් නොලබා දැවී යන සෑම වෙලාවකම ඔහු තමන් ගැන නොසතුටට පත්වෙනවා. ඔහු තමන් සම්බන්ධයෙන් සකස් කරලා තියෙන ඉලක්ක ඒ වගේ”

”තමන් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, කණ්ඩායමේ පිතිකරුවන් සම්බන්ධයෙන් වුණත් ඔහු හදා දීලා තියෙන ඉලක්ක ඒ වගේ තමයි” යයිද මාවන් අතපත්තු වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට ටෙස්ට් තරග 125 කදී ලකුණු 11,575 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්ව සිටින සංගක්කාර අද සවස තරගය නතර කරන විට පන්දු 89 කට මුහුණ දෙමින් හතරේ පහර 7 කින්  සහ ඉම්රාන් තහීර් හමුවේ ගැසූ අලංකාර හයේ පහරකින් සිය ඉනිම සරසා තිබිණ.

හෙට දිනයේදී පන්දුව ආපිට දෝලනය වීමේ අවස්ථා තිබිය හැකි බවත් ගාල්ල කී‍්‍රඩාංගණයේ පවතින දැඩි සුළග නිසා ඇතිවන එම තත්ත්වය සම්බන්ධයෙන් තමන් අවදියෙන් සිටිය යුතු බවත් ශී‍්‍ර ලංකා පුහුණුකරුවා පැවසීය. අතපත්තු මහතා එසේ පවසා සිටියේ පන්දුව පළුදු කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නා වන වර්නන් පිලැන්ඩර්ට දඩ නියම කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

ගාල්ල කී‍්‍රඩාංගණයේ සුළග ගැන කීවද මාවන්ගේ සිතේ පැවැති යටි අදහස කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසු නොවිණ. ශී‍්‍ර ලංකා පුහුණුකරුවා පවසා සිටියේ වර්නන් පිලැන්ඩර්ට දඩ නියම කළ බව තමන් දැනගත්තේ අද උදෑසන පිටියේ පුහුණුවීම් කරමින් සිටියදී බවයි.

”පසුගිය මාස කිහිපයේදීම අප වටහාගත්ත දේ තමයි අපි සටනක් නොදී පසුබැසීමට සූදානම් නැති බව. එවන් වාතාවරණයක් කණ්ඩායම ඇතුළේ තියෙනවා. අපේ කණ්ඩායම හැදී වැඩෙන යාන්ත‍්‍රණයේ තියෙනවා”
”වැදගත්ම දේ තමයි ඔවුන් (කී‍්‍රඩකයන්) ඒ ගැන විශ්වාස කිරීමට පටන්ගෙන තිබීම. ඒක සෑම අවස්ථාවකදීම සාර්ථක වේවි කියලා මට සහතිකයක් දෙන්න බෑ. ඒ් වගේම පසුගිය මාස කිහිපයේදී අප ලබාගත් සාර්ථකත්වය නිසා හෙට තරගයේදීත් අප බලාපොරොත්තු වන ප‍්‍රතිඵලය ලබාගත හැකිවේවි කියලා කියන්නත් බෑ”
”ඒ කොහොම වුණත් අපි සටනක් දෙනවා” යයිද මාවන් අතපත්තුු මහතා වැඩිදුරටත් පැවසීය.

 

 


අදහස් (9)

ශී‍්‍ර ලංකා පිල ඉතිහාසය වෙනස් කිරීමේ වෑයමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.