Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 හෙට තරගයට කුසල් සූදානම් - මැතිව්ස්

හෙට තරගයට කුසල් සූදානම් - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට වැඩි කාලයක් නොමැති බැවින් දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (06 දා) ආරම්භ වන එක්දින තරගාවලියද ලෝක කුසලාන ඉලක්කය සඳහා යන ගමනේදී වැදගත් සාධකයක් වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අද (05 දා) දහවල් ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පුහුණුවීම් අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘‘ලෝක කුසලාන සඳහා ඉතිරිව තියෙන්නේ මාස හතක් වගේ කාලයක්. ඒ කාලය තුළ අපිට අත්හදා බැලීම් කර කර ඉන්න කාලයක් නැහැ. ඒ නිසා මේ තරගාවලියේ ඉඳල පියවරෙන් පියවර ලෝක කුසලානට සූදානම් වීම තමයි අපේ සැලසුම.’’ යනුවෙන් පවසන මැතිව්ස් හෙට තරගයේදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට තම කණ්ඩායම උපරිම සූදානමකින් පසුවන බවද පැවසීය.

කෙසේ වෙතත් හෙට තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමග ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ උපුල් තරංගද නැතහොත් කුසල් පෙරේරාද යන ප‍්‍රශ්නය නිරාකරණය කරමින් ඒ සඳහා කුසල් පෙරේරා සූදානම් බව මැතිව්ස් පැවසීය.,

‘‘කුසල්  පෙරේරා ගැන කතා කළොත් ඔහු අද (05 දා) උදේ ශාරීරික යෝග්‍යතාවකට මුහුණ දුන්නා. එහිදී ඔහු ඉතාමත් හොඳින් තරගයට අවශ්‍ය යෝග්‍යතාව ප‍්‍රදර්ශනය කළා. හෙට තරගය ක‍්‍රීඩා කිරීමට කුසල්ට කිසි ප‍්‍රශ්නයක් නැහැ.’’ යයි මැතිව්ස් පැවසීය.

දිවා තරගයක් ලෙසින් හෙට පෙ.ව. 9.45 ට ආරම්භවන මෙම තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව පිළිබඳව ශ‍්‍රී ලංකා නායකයා ඉතාමත් තෘප්තිමත් බව අනාවරණය කළේය.

‘‘මම තණතීරුව බැලූව ඒක ඉතාමත් හොඳ තණතීරුවක්. මම හිතන්නෙ මේ තණතීරුවේදි පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් ගැටළුවක් එන එකක් නැහැ. සමහර විට පොඩි මන්දගාමී ස්වභාවයක් තියෙන්නෙ පුලූවන්. කොහොමත් තණතීරුවක ස්වාභාවය පිළිබඳව 100% අදහස් ප‍්‍රකාශ කරන්න කිසි කෙනෙකුට බැහැ.’’

අවසන් මාස හයක කාලය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායම එක දිගට ජයග‍්‍රාහණය කිරීමේදී නායකයකු ලෙස තමාගේ විශේෂ උපක‍්‍රමයක් තිබෙනවාද යන්න කළ විමසීමකදී අදහස් දැක්වු මැතිව්ස්, ‘‘නායකයකු වශයෙන් මම හැම වෙලාවෙ පිතිකහරඹයෙන් සහ පන්දු යැවීමෙන් මගේ උපරිමය කරන්න උත්සහ කරනවා. ඒ ඇරෙන්න අපේ කණ්ඩායමේ සාමූහික උත්සහය තමයි ඒ ජයග‍්‍රහණවලට පාදක වුණේ’’

මැතිව්ස් තරගය පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු පැමිණි දකුණු අප‍්‍රිකානු එක්දින කණ්ඩායම් නායක ඒබී ඩිවිලියර්ස් පවසා සිටියේ, ‘‘තරග තුනම ජය ගැනීමට හැකි කණ්ඩායමක් අපිට ඉන්නවා. නමුත් අවශ්‍ය වන්නේ තරගයට ගිහිල්ල අවශ්‍ය මූලික කටයුතු හරියට කිරිමයි. ශ‍්‍රී ලංකාවේ දේශගුණය මේ දිනවල ගොඩක් රස්නෙයි. ඒ නිසා අපිට ගොඩක් දේවල් කළමණාකරණය කරගන්න වෙනවා. විශේෂයෙන් තරගයේ පළමු පන්දුවාර 12 තරගයේ තීරණයට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකාවේ දග පන්දු යවන්නන්ද අභියෝගයක් වේවි.’’ යනුවෙනි.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ මෙතෙක් එක්දින තරගාවලියක් ජය ගැනීමට අපොහොසත් ව සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකදි ලබාගත් ඉහළම ගෞරවය ලෙස සටහන් වන්නේ 1993 සංචාරයේදී පැවැති තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමයි. එම තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම අර්ජුන රණතුංග විසින්ද දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කෙප්ලර් වෙසල්ස් විසින් මෙහෙයවන ලදී.

2004 වසරේදී තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට ශ‍්‍රී ලංකාවට පැමිණි දකුණු අප‍්‍රිකාව 5-0 ක් ලෙස අන්තපරාජයකට පත්වු අතර අනතුරුව ඉකුත් 2013 වසරේදීද ශ‍්‍රී ලංකාවට පැමිණි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම 4-1 ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත්විය. ඒ අනූව දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාව අතර මෙතෙක් පැවැති එක්දින තරග 56 තුළදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහණ 28 ක්ද දකුණු අප‍්‍රිකාව ජයග‍්‍රහණ 26 ක්ද ලබා තිබේ.

 


අදහස් (0)

හෙට තරගයට කුසල් සූදානම් - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.