Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 හේරත් පාකිස්තානු පිල ආයෙමත් අමාරුවේ දමයි

හේරත් පාකිස්තානු පිල ආයෙමත් අමාරුවේ දමයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා අසීරු සටනක නිරතව සිටින පාකිස්තානු කණ්ඩායම නැවත වරක් අමාරුවේ දැමූ රංගන හේරත් දෙවැනි ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගනිමින් අද (17 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 7 කට 127 ක් ලෙස වෙනස් කළේය.

තරගයෙන් ජයගැනීම සඳහා පාකිස්තානු පිල ලකුණු 271 ක් ලබාගත යුතු වන හෙයින් ඒ සඳහා තවත් ලකුණු 144 ක් ලබාගත යුතු නමුත් පාකිස්තානුවන් සතුව ඇත්තේ කඩුලු 3 ක් පමණි.

ලකුණු 271 ක ඉලක්කය කරා යාමේදී සිය මුල් පෙළ කඩුලු 5 ම ලකුණු 50 කට අහිමි කරගත් නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ අසාඩ් ශෆීක් සහ කඩුලු රකින්නා වන සර්ෆාස් අහමඩ් (නොදැවී 38) තම පිල වෙනුවෙන් සටනට පිවිසියහ. දිනයේ ක්‍රීඩාව නිමා වීමට අඩහෝරාවක් පමණ ඉතිරිව තිබියදී නැවත වතාවක් තම පිල තරගයට කැඳවාගෙන ආ රංගන හේරත් විසින් අසාඩ් ශෆීක් දවාගනු ලැබීමත් සමගම ඕවර 4 ක් ඇතුළතදී තවත් කඩුල්ලක් ඇද වැටිණ.

ශ්‍රී ලංකා පිල මෙවන් ප්‍රබල තත්ත්වයකට කැ‍ඳවාගෙන ආ රංගන හේරත් මේ වන විටත් කඩුලු 13 ක් දවාගනිමින් ටෙස්ට් තරගයකදී තමන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කර සිටී. පළමු ඉනිමේදී ලකුණු 127 කට කඩුලු 9 ක් දවාගත් රංගන දෙවැනි ඉනිමේදී දැනටමත් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගෙන ඇත.

කෙසේ වෙතත් පාකිස්තානය වෙනුවෙන් සටන අත් නොහළ සර්ෆාස් අහමඩ් මෙම තරගාවලියේ ඉනිම තුනකදී අර්ධ 2 ක් සහ ශතකයක් ලබාගත් අතර සිවුවැනි ඉනිමේදී තවමත් නොදැවී සිටී.

පාකිස්තානු දෙවැනි ඉනිමේ 19 වැනි ඕවරය වන විට සංචාරක පිල කඩුලු 5 ක් දැවී ලකුණු 50 ක් ලබා ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීමට ධම්මික ප්‍රසාද් සමත් වූ අතර රංගන හේරත් විසින් අසාර් අලි සහ මිස්බා උල් හක් දවාගන්නා ලදි.

අද පෙරවරුවේදී මහේල සහ සංගක්කාර දෙදෙනා දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ බර කරට ගත් නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 43 ක් ලබාගත්තේ ළහිරු තිරිමාන්න (10), නිරෝෂන් දික්වැල්ල (21) සහ ධම්මික ප්‍රසාද් සමග එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 282 දක්වා ඉහළ දමමිනි.

මුලූ ලකුණු සංඛ්‍යාව 189 වන විටත් සංගක්කාර සහ මහේල දෙදෙනාම පිටියෙන් ඉවත්ව ගොස් සිටි නමුත් ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා විසින් දමන ලද පදනම මත සිටිමින් නායක ඇන්ජලෝ මැතිව්ස්  සහ ළහිරු තිරිමාන්න තම කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ. මැතිව්ස් සුපුරුදු ලෙසින් ලකුණු ලබාගත් නමුත් තිරිමාන්න ලබාගත් ලකුණු 10 වෙනුවෙන් බෙහෝ වෙහෙස වූ අතර එම ලකුණු 10 ත් ඉතා අසීරුවෙන් ලබාගත් බව ඉතා පැහැදිළිව විද්‍යමාන විය.

මෙම තරගය මහේලගේ අවසන් ටෙස්ට් තරගයය බවට කල්තියාම නිවේදනය කර තිබුණ නමුත් කුමාර් සංගක්කාරද ඉනිම නිමා වීමෙන් පසුව ක්‍රිඩාගාරයට ගියේ පිටිය වටේම සිටි ප්‍රේක්ෂකයන්ට පිත්ත වනමින් ආචාර කරමිනි. එහෙත් තරගයෙන් පසුව කරන ලද විමසුමකදී සංගක්කාර කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 

 


අදහස් (2)

හේරත් පාකිස්තානු පිල ආයෙමත් අමාරුවේ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.