Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 උසේන් බෝල්ට් ශ්‍රේෂ්ඨයන් අතරට

උසේන් බෝල්ට් ශ්‍රේෂ්ඨයන් අතරට

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිය පළමු බලාපොරොත්තුව සාර්ථක කරගත් ජැමෙයිකානු දිවියා, උසේන් බෝල්ට්, පිට පිටම තුන්වැනි වතාවටත් මීටර 100 ඔලිම්පික් රන් පදක්කම දිනාගනිමින් ඉතිහාස පොතට එක්විය.

වසර 2008 බීජිංහිදී මීටර 100 ඉසව්වෙන් පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත් උසේන් බෝල්ට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීත් මීටර 100 ශූරයා විය.

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී ඊයේ (14 වැනිදා) දිනාගත් මෙම රන් පදක්කමත් සමගින් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයන් අතරට උසේන් බෝල්ට්ද එක්විය. මෙවර ඔලිම්පික් උළෙලේදී ඔහුට තවත් ඉසව් දෙකක් ඉතිරිව තිබේ.

සිය අවසන් ඔලිම්පික් උළෙලට සහභාගි වන උසේන් බෝල්ට්ට මීටර 100 ජයගැනීම සඳහා ගතකළ කාලය තත්ත්පර 9.81 කි. තරග කාලයට වඩා බෝල්ට්ගේ මහත් සතුටට කාරණය වූයේ සිය ඇමරිකානු ප්‍රතිවාදියා වූ ජස්ටින් ගැට්ලින් පරාජය කිරීමයි. තත්ත්පර 9.89 කින් තරගය නිමකළ ජස්ටින් ගැට්ලින්ට රිදී පදක්කම හිමිවූ අතර තත්ත්පර 9.91 ක කාලයක් වාර්තා කළ කැනඩාවේ ඇන්ඩි්‍ර ඩි ග්‍රාසි ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.

“ජැමෙයිකාව....නැගී සිටින්න....මාගේ ජැමෙයිකානු හිතවතුනි..,මේ ජයග්‍රහණය ඔබ වෙනුවෙනි” යයි ඊයේ රාත්‍රියේ උසේන් බෝල්ට් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

තරගය ජයගැනීමෙන් පසුව ක්‍රීඩාංගණය වටා සෙමින් දිවයමින් නරඹන්නන්ගේ ආචාරය පිළිගත් උසේන් බෝල්ට් ක්‍රීඩාලෝලීන් සමග ‘සෙල්ෆි’ ඡායාරූප වලටත් පෙනී සිටියේය. අනතුරුව තමන්ගේ සුපුරුදු ජයග්‍රාහී ඉරියව්ව වන ‘අකුණු පහර’ ප්‍රදර්ශනය කළේය.

“ඒක නම් නියමයි. මම ඒතරම් වේගෙන් දිවගියේ නෑ. ඒත් තරගය ජයගැනීමට ලැබීම ගැන සතුටුයි. මම කිව්වානේ මම ඒක දිනන්නයි යන්නේ කියලා” යයිද උසේන් බෝල්ට් පැවසීය.

උසේන් බෝල්ට්ගේ මෙම ජයග්‍රහණය වසර 120 ක ඔලිම්පික් ඉතිහාසයේදී ඔහු සුවිශේෂී ක්‍රීඩකයකු බවට පත්කළේය. ඔලිම්පික් ඉතිහාසයේ කිසිම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක විසින් ලොව වේගවත්ම ඉසව්ව වන මීටර 100 ඉසව්ව පිට පිට තුන්වරක් ජයගෙන නැත. එසේම තවත් කෙටිදුර ඉසව් දෙකක් වන මීටර 200 සහ මීටර 100 x4 සහාය දිවීමේ ඉසව් වලදීත් රන් පදක්කම් දිනාගත හැකිවෙතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ඉසව් දෙකේදීත් 2008 බීජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල වලදී උසේන් බෝල්ට් රන් පදක්කම් දිනා ඇත.

“කවුරුහරි කෙනෙක් මට කිව්වා මට අමරණීය වෙන්න පුළුවන් කියලා. ඒත් ඒකට තවත් පදක්කම් දෙකක් දිනාගන්න තියෙනවා” යයි මිටර 200 සහ මීටර 100x4 සහාය ඉසව් දෙක සම්බන්ධයෙන් බෝල්ට් පැවසීය.

මලල ක්‍රීඩා ජවන ඉසව් වලදී වැඩිම ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව දිනාගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින උසේන් බෝල්ට් මේ වන විටත් ලොව ශේෂ්ඨතම මලල ක්‍රීඩකයා ලෙස සම්භාවනාවට පාත්‍රවී සිටී. ඔහු ඊයේ රාත්‍රියේ ලබාගත් මීටර 100 ජයග්‍රහණය නිසා මොහොමඞ් අලී, පේලේ සහ මයිකල් ජෝර්ඞ්න් වැනි පරම්පරාවකට පමණක් බිහිවන ශ්‍රේෂ්ඨයන් අතරට එක්ව සිටී.


අදහස් (1)

උසේන් බෝල්ට් ශ්‍රේෂ්ඨයන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.