Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එංගලන්තය - ඕස්ටේ‍්‍රලියාව අතර මරණයේ සෙල්ලමක්

එංගලන්තය - ඕස්ටේ‍්‍රලියාව අතර මරණයේ සෙල්ලමක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ට්වීකන්හැම්හීදී අද (3 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගයේ දී වැඩිම පීඩනය ඇත්තේ එංගලන්තයට බැවින් තම කණ්ඩායමට බියවීමට කාරණයක් නැතැයි  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මයිකල් චීකා කියයි.

ශ‍්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාතී‍්‍ර 12.30 ට ඇරැඹෙන මේ තරගයෙන් එංගලන්තය පරාජයට පත්වුවහොත් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ පිලිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් නොලබන පළමු සත්කාරක රට බවට එංගලන්තය පත්වනු ඇත.

ඔවුන්ට මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට මුහුණදීමට සිදු වුවහොත් ඒ  පසුගිය සතියේ දී නොසිතූ විරූ ලෙස වේල්සය හමුවේ ලකුණු 25-28 කින් පරාජයට පත්වීම නිසාය.

තරග 3 ක් ජයගත් වේල්සය තවත් තරගයක් ඉතිරිව තිබියදීම අර්ධ අවසන් පූර්ව වටයේ එළිපත්තේ සිටින අතර එංගලන්තයට ඊළග වටයට යාමට නම් උරුගුවේ පිල සමග ලබන 10 වැනිදා පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයත් සමග අද තරගයත් ජයගැනීමට සිදුවී තිබේ.

‘මරණයේ සංචිතය‘ නමින් හැඳින්වීමේ කිසිදු වරදක් නොමැති ‘ඒ‘ කාණ්ඩයේදී එංගලන්තය දැන් සිටින්නේ තුන්වැනි තැනය. නමුත් එංගලන්තයේ ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක බෙන් යංග්ස් නම් විශ්වාස කරන්නේ අද තරගයේ දී එංගලන්තය හමුවේ  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත්වනු ඇති බවකි.

අද තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත්වූවත් ඔවුන්ට ඊළග වටයට යාමට ලබන 10 වැනිදා වේල්සය සමග පැවැත්වෙන තරගයේදි වූවත් හැකියාව ඇතැයි ඔහු කියයි.

”අද තරගය පරාජයට පත්වූවත් අවසන් පූර්ව වටයට යන්න ඔවුන්ට තවත් අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. නමුත් අපිට එහෙම නෑ” යංග්ස් එසේ කීවේය.

”අපි අද තරගයේ පළමු  මිනිත්තු 20 ඇතුළතදීම කරන දෙයක් කළ යුතුයි. ආයේ පස්සේ පසුතැවෙන්න බෑ” යයිද යංග්ස් පැවසීය.

පසුගිය ඔක්තෝබරයේදී  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාගේ හිටපු පුහුණුකරු එවන් මැකන්සි ඉල්ලා අස්වීමෙන් පසුව මේ තනතුරට උඩින් පාත්වුණු චීකා දැඩි ලෙස කියා සිටින්නේ ඔවුන්ගෙන් එංගලන්තයට නම් කිසිම බුරුලක් නොලැබෙනු ඇති බවය.

”අපි හැම තරගයක්ම කී‍්‍රඩා කරන්නේ මරාගෙන මැරෙන තරමේ ජවයකිනුයි... මම කියලයි තියෙන්නේ හැම තරගයක්ම මේ බැනියම ඇඳගෙන කී‍්‍රඩා කරන අවසන් අවස්ථාව කියලා හිතාගෙන සෙල්ලම් කරන්න කියලා” යයි කිසිදිනෙක ජාත්‍යන්තර රග්බි තරගයකට කී‍්‍රඩා නොකළ මේ පුහුණුකරුවා කීවේය.

එංගලන්ත පුහුණුකරු ස්ටුවර්ට් ලැන්කැස්ටර්ගේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්ය. අද තරගයේ පරාජය ඔහුගේ තනතුර අවදානමට දමාගැනීමකි.

ෆිජී කණ්ඩායමට එරෙහිව ජයගෙන දුන් මෙවර තරගමාලවේ ඔවුන්ගේ පළමු තරගයට පෙර එංගලන්ත පුහුණුකරු සිටියේ සෑහෙන සැහැල්ලූවකිනි. ඔහු ඉඳහිට චිත‍්‍රපට නැරැඹීමට ද ගියේය.

”මම ආයෙ නම් සිනමාශාලාවල් වෙත යන්නෙ නෑ...අන්තිම පාර මම බලපු චිත‍්‍රපටය කොහෙත්ම හොඳ තේරීමක් නම් වුණේ නෑ. මම වැරැදි චිත‍්‍රපටයයි නැරැඹූවේ ‘එවරස්ට්‘..

”ඒකෙ කතාව ගැන කියනවානම් එක මිනිහෙක් කඳුමුදුනටම නැග්ගා. එතකොටම විශාල කුණාටුවකට අහුවෙලා ඔහු මියගියා” යයි ස්ටුවර්ට් ලැන්කැස්ටර් කීවේය. එංගලන්ත පුහුණුකරුවා කියන්නේ කුමක්දැයි හොඳින් අවබෝධ කරගත යුතුය.

”අපේ කොල්ලන්ට දෙන පණිවුඩය නම් තමන් විසින් කරන්න  ඕන දේ කරන්න  ඕන කියන එකයි. පස්සේ වාඩිවෙලා ‘එහෙම වුණානම් කියලා’ ඒ ගැන හිත හිත ඉඳලා වැඩක් නෑ”

ලැන්කැස්ටර් මෙන්ම නායක කි‍්‍රස් රොබ්ෂෝ ද අද පිටියට යන්නේ නායකත්වය අඩමානෙක තබාගෙනය. අද තරගය පැරදුනහොත් ඉන් එංගලන්තයට අත්වන ලජ්ජා සහගත වාර්තාව ගැන දැන සිටීමත් එක් අතකින් මේ දෙදෙනාගේ රුධිර පීඩනය වැඩි කරවන්නකි. අද පළවූ එංගලන්තයේ ඇතැම් පුවත්පත්වල කී‍්‍රඩා පිටුවේ ශීර්ෂපාඨ දැකීමෙන් එය තවත් වැඩි නොවුණානම් පුදුමය.

‘ලොවම ඔවුන්ගේ කරමතයි’ ඬේලි ටෙලිග‍්‍රාෆ් එසේ කියද්දී ඬේලි මේල් කියන්නේ ‘නායකයාගේ අන්තිම අවස්ථාව’ කියාය.

එය තවත් තහවුරු කරමින් ලැන්කැස්ටර් මෙසේ කියයි.

”අපේ කොල්ලන්ට මට අන්තිමටම කියන්න තියෙන්නේ අපි හැමෝම වෙනුවෙන් අද තරගය ජයගතයුතු බවයි”

”අපේ රග්බි කී‍්‍රඩා සමාජ වෙනුවෙන් ඒක කරන්න. ඔබලාගේ අම්ම තාත්ත වෙනුවෙන් ළමයි වෙනුවෙන් ඒ දේ කරන්න. අපේ හිටපු කී‍්‍රඩකයන් වෙනුවෙනුත්..”
එක් අතකින් ලැන්කැස්ටර්ගේ මේ උපදෙස එංගලන්ත පිලේ කී‍්‍රඩකයන්ට හීන් දහඩිය දමන්නක් වීමට ද ඉඩ තිබේ.

එංගලන්ත ගිම්හානය නිමාවී සිසිරය ආරම්භ වෙමින් පැවතුනද එංගලන්තයට පමණක් නොව දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලාටද අද රාතී‍්‍රය හීන් දාඩිය දමන රාති‍්‍රයක් වනු නිසැකය. දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංබොක්ලා ශී‍්‍ර ලංකා වේලාවෙන් 9.15 ට ස්කොට්ලන්තය සමග තරග වදින්නේ එවැනිම පීඩනයක් හිස මත රඳවාගනිමිනි.

මෙවර තරගමාලාවේ පළමු තරගයෙන් අනපේක්ෂිත ලෙස ජපානය හමුවේ පරාජය වීම නිසා දෙවතාවක්ම ලෝක ශූරතාව දිනා සිටින ස්පි‍්‍රංග්බොක්ස්ලාට අද දැඩි සටනක් දීමට සිදුවනු ඇත.

මෙවර තරගමාලාවේ දැනට වැඩිම ලකුණු ලබා ඇති කණ්ඩායම් 2 න් එකක් වන ස්කොට්ලන්තය දැනට ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ස්පි‍්‍රංග්බොක්ස්ලා සිටින්නේ දෙවැනි තැනය.  

අමෙරිකාව සමග ලබන 7 වැනිදා තවත් තරගයක් ඉතිරිව තිබීම වෙනම කතාවකි. ඊට පෙර අද තරගය ජය ගත යුතු බව දකුණු අපි‍්‍රකානු පිලේ අංක 8 කී‍්‍රඩක ඩුආන් වර්මියුලන් කියයි.

”අද තරගයේ ජයග‍්‍රහණය තමයි අපේ ඉලක්කය. මේ සතිය පුරාම අපේ අවධානය යොමුවුණේ අපි කොහොම කී‍්‍රඩා කළ යුත්තේ සහ අපි මොනවද ලබාගත යුත්තේ කියන එක ගැනයි” වර්මියුලන් කියයි.

පසුගිය තරගවලදී ජපානය සහ අමෙරිකාව පරාජය කළ සිය කණ්ඩායමේ දස්කම් දැකබලාගැනීමට දහස් සංඛ්‍යාත ස්කොට්ලන්ත කී‍්‍රඩාලෝලීන් පිරිසක් දේශසීමා තරණය කරමින් අද නිව්කාස්ල් හී පැවැත්වෙන තරගයට පැමිණෙමින් සිටිති.

 


අදහස් (0)

එංගලන්තය - ඕස්ටේ‍්‍රලියාව අතර මරණයේ සෙල්ලමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.