Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එකම සැලසුමයි : ඒ ජයග‍්‍රහණයයි

එකම සැලසුමයි : ඒ ජයග‍්‍රහණයයි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

”මේක නිකම්ම ලෝක කුසලානයක් දිනාගැනීමක් විතරක් නෙවෙයි. පිට පිට දෙවැනි වරටත් ලෝක ශූරයන් වීමක්...”  යයි මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ උණුසුම වැඩි කරමින් මෙසේ කියා සිටියේ පසුගිය වසරේ රග්බි ලෝක කිරුළ දිනූ නවසීලන්ත පිලේ පුහුණුකරු ස්ටීව් හැන්සෙන්ය. ජයග‍්‍රහණය හැර වෙනත් සැලසුමක් තමන්ට නැති බව ද ඔහු කීවේය.

”ඒක තමයි අපේ අභියෝගය...” හැන්සෙන් කීවේය.

පසුගිය තරගමාලාවලදී තම කණ්ඩායමට පරාජයන් උරුම කරදුන්  අධි විශ්වාසය නැමැති උගුලේ නොවැටි සිටිමට මෙවැනි අරමුණක් තබා ගැනීම එක අතකින් වඩා හොඳය.

මෙවර තරගාවලියේ වඩාත්ම සංවේදීජනක කණ්ඩායම බවට පත්වී සිටින්නේ ද නවසීලන්ත කණ්ඩායමය. ඔවුන්ගේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනකු වන රිචී මැකෝ සහ ඩැන් කාටර් දෙදෙනාම මෙවර තරගාවලියෙන් පසුව සමුගෙන යාමට සූදානමින් සිටති. ඔවුන් තරගාවලිය අවසානයේ දී කී‍්‍රඩාලෝලීන් ඇමතීමට ද නියමිතය.

නවසීලන්තය මෙවර තරගාවලියට පැමිණෙන්නේ රග්බි ලෝක කුසලානයේ වත්මන් හිමිකාරුවන් ලෙසින පමණක්ම නොවේ. රග්බි පන්දුව ලොවට හඳුන්වාදුන් විලියම් වෙබ් එලිස්ගේ නමින් පිදෙන මේ ලෝක කුසලානය පිට පිට දෙවතාවක් දිනාගනිමින් එවැනි හපන්කමක් කළ පළමු කණ්ඩායම බවට පත්වීමද දැන් ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

හැන්සෙන් කියන පරිදි  ඔවුන් ඉදිරියේ ඇත්තේ එක්තරා අන්දමක චමත්කාරජනක අභියෝගයකි.

”ඔබ ඔට්ටු තබන්නකු නම් අප මෙවර ලෝක කුසලානය දිනාගන්නා බවට කිසිසේත්ම ඔට්ටු තබන්නේ නැහැ. ඒ එවැනි අරුමයක් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදිනෙක සිදුවී නොමැති නිසයි”

”නමුත් ඒක විශිෂ්ඨ අභියෝගයක්. මොකද කවදාහරි දවසක එය සිදුවිය යුතු දෙයක්. ඉතින් අපිට බැරිද ඒක කරන්න...?‘ හැන්සෙන් විමසයි.

‘ඕල් බ්ලැක්ස්’ යනුවෙන් හැඳින්වෙන නවසීලන්ත රග්බි කණ්ඩායම මීට පෙර දෙවතාවක් රග්බි ලෝක කුසලානයේ ජයපැන් බීමේ වාසනාව අත්කර ගත්තේය. ඒ දෙවතාවේහිම ඔවුන් ලෝක කුසලානය දිනාගත්තේ සිය රටේහිදීමය. ඒ 1987 වසරේ දී සහ 2011 වසරේදීය.

ඒ අතරතුර කාලයේ අවස්ථා පහකදී ඔවුන්ට ලෝක කුසලානය අහිමිවී ගියේය.

වසර 2007  ඕල් බ්ලැක්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී ප‍්‍රංශය හමුවේ පරාජයේ ආගාධයට ඇද වැටෙද්දී හැන්සෙන් කණ්ඩායමේ සහය පුහුණුකරු විය.

අසීරු ඉලක්කයක් කරා ගමන් කිරීමට සිය කණ්ඩායමට හොඳ පෙළඹවීමක් අවශ්‍ය බව ඔහුගේ අදහසය.

”2007 දී අපි රග්බි ලෝක කුසලානය දිනාගත යුතුව තිබුණා. ඒත් එවර අපි සාර්ථකව තරගාවලියට අවතීර්ණ වී සිටියේ නෑ...නිවැරැුදි තරග රටාවට පිවිසීමටත් අසමත්වුණා”

”මෙවර අපි තරගාවලියට එක්වුණේ ඒ ගැන නිසි අවබෝධයක් ඇතිවයි” යයි නවසීලන්ත පුහුණුකරුවා කියයි.

හැන්සෙන් ඕල් බ්ලැක්ස් පිලේ පුහුණුකරු තනතුර බාර ගැනීමෙන් පසුව සිය කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට ඇදගෙන යාමට සමත් විය. ඔහුගේ ගුරුහරුකම් ලබන නවසීලන්ත පිල රග්බි ටෙස්ට් තරග 47 කට කී‍්‍රඩා කළද පරාජයට පත්වී ඇත්තේ තරග 3 කින් පමණි.

”මීට කළින් කවුරුවත් රග්බි ලෝක කුසලානය පිට පිට දෙවතාවක් දිනාගෙන නෑ. අපිට ඒ වාර්තාව තැබීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යයි ඔහු කීවේය.

 ඕල් බ්ලැක්ස් පිල 2007 දී පරාජයට පත්වූයේ ඔවුන්ගේ මූලික සැලසුමෙන් ඔබ්බට ගිය දෙවැනි සැලසුමක් කෙරෙහි අවධානය යොමු නොකළ බැවින් යැයි එකළ විවේචන රැසක් එල්ලවී තිබිණි. එහෙත් හැන්සෙන් දෙවැනි සැලසුමක් ගැන කිසිවිටෙක සිතන්නේ නැති බව කියයි.

”තරගාවලියෙන් ජයගන්නේ නම් ඒ අභිප‍්‍රාය හැර වෙනත් සැලසුමක් ඔබට තිබෙන්නට බෑ... අපිට තිබෙන්නේ එකම එක සැලසුමක් පමණයි. අපේ කණ්ඩායම විශ්වාස කරන්නෙත් එයයි” යයිද හැන්සෙන් පවසයි

 


අදහස් (0)

එකම සැලසුමයි : ඒ ජයග‍්‍රහණයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.