Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ගොඩමාන්න ශී‍්‍ර ලංකාව ගොඩගනී

ගොඩමාන්න ශී‍්‍ර ලංකාව ගොඩගනී

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පැවැති ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ ටෙනිස් තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අද (19 වැනිදා) සමත් වූහ. මෙය 2011 වසරේදී ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයට සුදුසුකම් ලබාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ අත්කරගත් පළමු ඬේවිස් කුසලාන තරගාවලි ජයග‍්‍රහණයද වේ.

මෙම ජයග‍්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් ඬේවිස් කුසලාන තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ රැදී සිටීමට අවස්ථාව හිමි වූ අතර ලෙබනන කණ්ඩායමට තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවිය.

අද පැවැති පළමු කේවල තරගයේදී හාඩි හබීබ් හමුවේ තරග වට 3-2 ක් ලෙස ශාමාල් දිසානායක පරාජයට පත් වුවත්, දෙවැනි කේවල තරගයේදී ගියොවානි සමාහා හමුවේ තරග වට 3-0 ක ජයක් වාර්තා කළ හර්ෂණ ගොඩමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

ඊයේ (18 වැනිදා) දිනය අවසන් වන විට 2-1 ක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන තිබුණද, අද දිනයේ පැවැති පළමු කේවල තරගය ජයගැනීමත් සමග තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට ලෝකයේ කණිෂ්ට ටෙනිස් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම් අනුව 91 වැනි ස්ථානයේ පසුවන හාඩි හබීබ් සමත් විය.

එම තරගයේ පළමු වට දෙක ලකුණු 7/5 ක් සහ 6/4 ක් ලෙස ජයගැනීමට හාඩි හබීබ් සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි වට පිළිවෙලින් ලකුණු 6/4 ක් සහ 6/4 ක් ලෙස ජයගැනීමට ශාමාල් දිසානායක සමත් වීමත් සමග පස්වැනි වටය ඉතා තීරණාත්මක එකක් බවට පත්විය.

කෙසේ වුවත් දක්ෂ ලෙස කී‍්‍රඩා කරමින් පස්වැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් හාඩි හබීබ්, තවදුරටත් තරගාවලිය ජයග‍්‍රහණය කිරීම සඳහා ලෙබනන කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු මල්ඵල ගැන්වීය.

දෙවැනි කේවල තරගයේ ආරම්භයේ සිටම ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කළ හර්ෂණ ගොඩමාන්න, ලකුණු 6/3 ක්, 6/2 ක් සහ 6/3 ලෙස එහි පළමු වට තුනම ජයගනිමින් ශ්‍රී ලංකාවට 3-2 ක තරගාවලි ජයක් අත්කර දීමේ පුරෝගාමියා බවට පත්විය.

එම තරගය පුරාම ගියොවානි සමාහාට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් නොදුන් හර්ෂණ ගොඩමාන්න, තම අත්දැකීම් මනාව ප‍්‍රයෝජනයට ගනිමින් තමා සහභාගී වූ පළමු කේවල තරගයෙන් මෙන්ම මෙම තරගයෙන්ද වට 3-0 ක ජයක් අත්කර ගත්තේ මෙම තරගාවලියේදී එවැනි දස්කමක් දැක්වූ එකම කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හර්ෂණ ගොඩමාන්න සමගින් දෙවැනි දිනයේ පැවැති යුගළ තරගයට සහභාගී වීමට නියමිතව සිටි ශාමාල් දිසානායක කී‍්‍රඩාගාරය තුළ රදවා තබාගෙන ඔහු වෙනුවට දිනේෂ්කාන්තන් තංගරාජා තරගයට යෙදවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ බලධාරීහු කටයුතු කළ අයුරු දැකගත හැකි විය.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුවද, මේ දින වල දස්කම් අතර නොසිටින බැවින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් නිකුත් කරන ලද තරග කාලසටහන ඇතුළත් නොවූ දිනේෂ්කාන්තන් තංගරාජා මෙම තරගය සඳහා යොදා ගැනීම බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ අතර එහිදී ඔහු පෙන්නුම් කළ දුර්වල කී‍්‍රඩා විලාශය නිසා ඉන් ශ්‍රී ලංකාවට වට 3-2 ක පරාජයක් අත් වූ බව වැඩිදෙනාගේ මතය විය.

එම තරගයට තංගරාජා යෙදවූයේ මන්දැයි අප කළ විමසීමකදී කණ්ඩායමේ නායක රොහාන් ද සිල්වා කියා සිටියේ ”ඊයෙයි, අදයි, හෙටයි දවස් තුනේම තරග තියෙන නිසා එක දිගට කී‍්‍රඩා කරද්දී කී‍්‍රඩකයන්ට ටිකක් අමාරුයි. ඒ නිසා අද අපි ශාමල්ව විවේක ගන්වලා දිනේෂ්ට අවස්ථාව ලබාදුන්නා. නමුත් ඒක සාර්ථක වුණේ නෑ” කියාය.

කෙසේ වුවත් තංගරාජා එම යුගළ තරගයට යෙදවාගෙන ඇත්තේ ඉහළ වැටුපක් ලබමින් ටෙනිස් සංගමයට අනයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකුගේ බලපෑම් මත බව විශ්වාස දායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

පෙර සකස්කරන ලද තරග කාල සටහනට අනුව එම යුගළ තරගයට හර්ෂණ ගොඩමාන්න සමගින් ශාමාල් දිසානායක කී‍්‍රඩා කළා නම් එම තරගය ශ්‍රී ලංකාවට පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව තිබූ අතර එම තරගය ජයගෙන තිබුණා නම් තරගාවලිය 4-1 ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබිණ.

 ඡායාරූප - ශානුක අරවින්ද
 


අදහස් (0)

ගොඩමාන්න ශී‍්‍ර ලංකාව ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.