Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 තියාගෝ - ලුවිස් බ්‍රසීලය අවසන් පූර්ව වටයට ගෙනෙති

තියාගෝ - ලුවිස් බ්‍රසීලය අවසන් පූර්ව වටයට ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තියාගෝ සිල්වා හා ඩේවිඩ් ලුයිස්ගේ විශිෂ්ට ගෝල ද්විත්වය නිසා කොලොම්බියාව සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගය 2-1කින් ජය ගත් බ්‍රසීලය 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගත්තේය.

කෙසේ වෙතත් බ්‍රසිලයේ විශාලතම බලාපොරොත්තුව වූ නේමර් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී කොලොම්බියාවේ ජුවාන් සුනිගා හා එකට ගැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් ඔවුන්ට සිය ජයග්‍රහණය භුක්ති විඳිමට ලැබුණේ නැත.

මේ ආබාධය හේතුවෙන් නේමර්ට ජර්මනිය සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයට මෙන්ම බ්‍රසීලය ඉන් ජයගතහොත් අවසන් මහා තරගයට ද ක්‍රීඩා කිරීමට නොහැකිවීම සත්කාරක බ්‍රසීලයට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ජයග්‍රාහී ගමන්මගේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම බවට පත්වී තිබේ.
 
නේමර්ගේ කොඳු ඇට පෙළේ පුරුකක බිඳීමක් සිදුවී ඇති බැවින් ඔහුට සති කිහිපයක් යනතුරු නැවත ක්‍රීඩා කිරීමට නොහැකි බව බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් එරට ක්‍රීඩා රූපවාහිනී නාලිකාවට ප්‍රකාශ කළේය. ඔහු සැත්කමකට ලක් කිරිමේ අවශ්‍යතාවක් නොමැති වූවත් ආබාධය සුවවීමට විවේකය අවශ්‍ය බව ලස්මාර් කීවේය.

මේ තරගයේ දී චිලී කණ්ඩායම සමග පැවැති දෙවැනි වටයේ තරගයේ මෙන් බරපතල පීඩනයකට බ්‍රසීලය මුහුණ පෑවේ නැත.

කැස්ටිලාවෝ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ආරම්භ වී 7 වැනි මිනිත්තුවේ දී ම තියාගෝ සිල්වා අනගි ගෝලයක් ගැසීමෙන් ඔවුන්ගේ පීඩනය වේලාසනින්ම පහව ගියේය. නේමර් ලබාදුන් කෝනර් පහරකින් ලැබූ ඒ ගෝලයත් සමග 1-0 කින් පෙරමුණ ගැනීමට බ්‍රසීලය සමත්විය.

අනතුරුව බ්‍රසීලය තරගයේ පළමු භාගය වැඩි කළබලයකින් තොරව නිමා කර ගත්තේය. ඒ කාලය අතරතුර බ්‍රසීලයට තවත් ගෝලයක් ලබා දීමට හල්ක්ට ලැබුණු අවස්ථාව දෙකම අහිමි කිරීමට කොලොම්බියාවේ දැළ රකින ඔස්පිනා සමත්විය.

පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී නිදහස් පහරක් ගැසීමේ අවස්ථාවක් නේමර්ට හිමිවූයේ කොලොම්බියාව තැති ගන්වමිනි. එහෙත් නේමර්ගේ පහරෙන් පන්දුව ඇදී ගියේ දැළ් කණුවට ඉහළිනි.

පළමු භාගය තුල ගෝලයක් ලබා ගැනීමට කොලොම්බියාවට ද අවස්ථාවක් ලැබුණු අතර එය ජුවාන් කොඩ්රාඩෝට මඟ හැරීණි.

කොලොම්බියාවේ බලාපොරොත්තුව වූ ජේම්ස් රොඩ්රිගුවස්ට  නීතිවිරෝධි ලෙස බාධා කිරීම් ගණනාවක්ම බ්‍රසිල ක්‍රීඩකයන් වෙතින් සිදුවූවත් විනිසුරුගෙන් දඬුවම් නොලබා බේරීමට ඔවුන්ට වාසනාව තිබිණි. එහෙත් 64 වැනි මිනිත්තුවේ දී තියාගෝ සිල්වාට නම් කහ කාඩ් පතෙන් අවවාද කිරීමට විනිසුරුට සිදුවිය. ඒ කොලොම්බියා දැළ රකින ඔස්පිනාට කළ නීතිවිරෝධි බාධා කිරීමක් ඔහුගේ අතටම හසුවීම නිසාය.
 
මේ තරගයේ දී නිතිවිරෝධි බාධා කිරීම් 54 ක් වාර්තා වූ අතර එය මෙවර තරගමාලාවේ තරගයක දී මෙතෙක් වාර්තා වූ වැඩිම නීති විරෝධී ක්‍රියා සංඛ්‍යාව ද වේ.

අවසන් පූර්ව වටයේ බ්‍රසීලයේ සහභාගිත්වය තහවුරු කරගැනීමේ තීරණාත්මක ගෝලය වාර්තා වූයේ 69 වැනි මිනිත්තුවේදීය. එය වාර්තා වූයේ රොඩ්රිගුවස් නීතිවිරෝධි ලෙස හල්ක්ට කළ අවහිරතාවක් හේතුවෙන් ලැබුණු නිදහස් පහරකිනි.

තරගය පුරා රොඩ්රිගුවස් ඉලක්ක කරමින් බ්‍රසීල ක්‍රීඩකයන් කළ නීතිවිරෝධි බාධා කිරීම්වලින් ඔහුට විනිසුරුගේ සහයක් නොලැබුණත් ඔහු බ්‍රසීලයේ හල්ක්ට කළ නීතිවිරෝධි බාධා කිරීමට නම් විනිසුරුගේ අවධානය යොමුවීම කැපී පෙනුණි.
 
යාර 35ක දුරක සිට ඩේවිඩ් ලුයිස් ගැසූ ඒ නිදහස් පහරෙන් බ්‍රසීලය 2-0 කින් පෙරමුණ ගත්තේයග ඊට මිනිත්තු 10 කට පසුව කොලොම්බියාවට දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් ගැසීමට රොඩ්රිගුවස් සමත්වූවත් ඒ වනවිටත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඔවුන්ගෙන් ඈතට ඇදී ගොස් තිබිණි.

ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ කිසිදාක කොලොම්බියාවට පරාජය නොවූ බ්‍රසිලය මේ ජයග්‍රහණයත් සමග ඒ වාර්තාව තව දුරටත් රැක ගත්තේය.


අදහස් (0)

තියාගෝ - ලුවිස් බ්‍රසීලය අවසන් පූර්ව වටයට ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.