Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නිලකුණු තරගයේ වීරයා සම්මානය දැළ රකින්නාට

නිලකුණු තරගයේ වීරයා සම්මානය දැළ රකින්නාට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක බ්‍රසීලයට ඉතා  ප්‍රබල අභියෝගයක් එල්ල කළ මෙක්සිකෝව, ෆොර්ටලේසාහි කැස්ටෙලාවේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය ගෝල 0-0 ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමා කරගත්තේය. වැඩි දෙනකුගේ අවධානයකට ලක්වූ මේ තරගයේ දී බ්‍රසීල ක්‍රීඩකයන්ගේ සටන්කාමිත්වය හමුවේ නොසැලී සිය කණ්ඩායම බේරාගත් මෙක්සිකෝවේ දැල් රකින්නා වන ගියුලමෝ ඔචෝවා තරගයේ වීරයා බවට පත්විය.

තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමත් සමග එක දිගට තරග 10ක් ජයගෙන නොකඩවා වැඩිම තරග ගණනක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට පත්ව සිටි සිටි බ්‍රසීලයේ වාර්තාව බිඳ වැටිණි. ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ ගෝලයක් වාර්තා නොවූ වඩාත් උණුසුම් තරග කීපය අතරට මේ තරගය ද එක්විය.

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී බ්‍රසීලයේ ඔස්කාර් සාර්ථකව පන්දුව රැගෙන යමින් ප්‍රතිවාදීන්ගේ දැළ වෙතට පන්දුව එල්ල කළද එය දැළට පිටතින් ඇදී ගියේ බ්‍රසීල ක්‍රීඩාලෝලින්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. අනතුරුව 25 වැනි මිනිත්තුවේ දී බ්‍රසීලයේ ඩැනී අල්විස් පිරිනැමූ පන්දුවට සුපිරි ක්‍රීඩක නේමර් හිසෙන් ගැසූ වේගවත් පහර විශිෂ්ට අයුරින් රැක ගැනීමට මෙක්සිකෝ පිලේ දළ රකින්නා වන ඔචෝවා සමත්විය.

බ්‍රසිලයේ බලාපොරොත්තු ඉහළ දමමින් 68 වැනි මිනිත්තුවේ දී නේමර් නැවතත් ක්‍රියාත්මක වූ අතර මෙවර ඔහු පන්දුව ප්‍රතිවාදීන්ගේ දැළ වෙතට එල්ල කළේ සිය වම් පාද පහරකිනි. එවරත් ඔචෝවාගේ තියුණු දෑස් මගහැර යාමට පන්දුව අසමත් විය.

අවසන් මිනිත්තු කීපය වනවිට දෙපිලම ගෝලයක් රැස් කිරීමේ අරමුණින්  ක්‍රීඩා කිරීම නිසා තරගයේ උණුසුම ඉහළ ගියේය. 85 වැනි මිනිත්තුවේ බ්‍රසීලයේ තියාගෝ සිල්වා හිසින් ගැසූ පහර ඉතා අසීරුවෙන් රැක ගත් ඔචෝවා තුන්වැනි වතාවටත් සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත්තේය.

2010 ලෝක කුසලාන තරගමාලාවේ පෘතුගාලයට එරෙහිව පැවැති තරගයට පසු බ්‍රසීලය ගෝලයක් වාර්තා කිරිමට අසමත්වූ පළමු තරගය ලෙස මෙය ඉතිහාසයට එක්විය.


අදහස් (0)

නිලකුණු තරගයේ වීරයා සම්මානය දැළ රකින්නාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.