Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පවුම් බිලියන 2.5 ක් විසිරුණු තරග බිමක්

පවුම් බිලියන 2.5 ක් විසිරුණු තරග බිමක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වාර්තාගත ජයග‍්‍රහණයකින් නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා පිට පිට දෙවැනි වරටත් ශූරයන් වූ රග්බි ලෝක කුසලාන තරගමාලාව වසර 28 ක තරගමාලා ඉතිහාසයේ ‘හොඳම‘ තරගමාලාව බව විචාරකයෝ කියති. තරගාවලියට සත්කාරකත්වය දැක්වූ එංගලන්තයට ඊටත් වඩා සහතික උවමනා නැත.

නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා සහ  ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලා අතර ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ  පැවැති අවසන් මහා තරගය මිට පෙර පැවැති අවසන් මහා තරග හතට වඩා තියුණු හා කුතුහලය දනවන සුළු එකක් වූ බවත් විචාරකයන්ගේ අදහසයි.

මූලික වටයේ තරග සහ අර්ධ අවසන් පූර්ව වටයේ ඇතැම් තරග අනාවැකි පළ කිරීමට තරම් පහසු ඒවා බවට හැමෝම මැසිවිලි නැගූ බැව් සැබෑය. එහෙත් තරගමාලාවේ පළමු සති අන්තයේදීම දෙවරක් ලෝක ශූරයන් වූ දකුණු අපි‍්‍රකාව ලකුණු 34-32 කින් පරාජය කරමින් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය කළ ජපානයේ වික‍්‍රමාන්විතය නම් අමතක කරන්නටම බැරිය.

ලෝක කුසලාන තරග සම්බන්ධයෙන් ජපානයට ඇත්තේ එතරම් සුන්දර වාර්තාවක් නොවේ. 1995 වසරේ දකුණු අපි‍්‍රකාවේ පැවැති තරගමාලාවේ මූලික වටයේදී නවසීලන්තය හමුවේ ලකුණු 145-17 කින් ලැබූ අන්ත පරාජයේ අමිහිරි මතකය වසර හතරකට වරක් ජපාන වැසියන්ගේ සිතෙහි හොල්මන් කරන්නට පටන් ගනී. එහෙත් දැන් ඉතින් සෑම වසර හතරකට වරක්ම ඔවුන්ගේ මතකය දිව යනු ඇත්තේ එදා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයේ මිහිරියාව වෙතටය.

”අපේ පළමු තරගයේදීම දකුණු අපි‍්‍රකාව පරදවා අපි රග්බි ඉතිහාසය වෙනස් කළා” එසේ කියන්නේ ජපානයේ ෆුල්බෑක් කී‍්‍රඩක අයුමු ගොරොමාරුය.

එදා තරගයේ දී ඔහු සිය විස්මිත පා පහරෙන් ජපානයට ලකුණු 24 ක්ම ගෙන දුන්නේය. වසර 2019 ලෝක කුසලාන තරගමාලාවේ සත්කාරකත්වය දරන ජපානය මෙවර මූලික වටයේදි තරග 3 ක් ජයගෙන තිබියදීත් අවසන් අටට නොගිය පළමු කණ්ඩායම බවටත් පත්වීමත් එක්තරා ආකාරයක අවාසනාවකි.

එහෙත් ඊට මූලික හේතුවක් වූයේ ජපානය අයත් වූ කාණ්ඩයේ කණ්ඩායම් අතර පැවැති දැඩි තරගකාරීත්වයයි.

ජපානය ඇතුළත් වූ ‘බී’ කාණ්ඩයට දකුණු අපි‍්‍රකාව, ස්කොට්ලන්තය, සැමෝවා සහ එක්සත් ජනපදයද ඇතුළත් වූහ.

මෙවර තරගමාලාවේ මූලික වටයේ සිදුවූ තවත් පෙරළියක් වූයේ සත්කාරක එංගලන්තයට අවසන් අටට යාමට බැරිවීමය. රග්බි ලෝක කුසලාන තරග ඉතිහාසයේ සත්කාරක රටක් මූලික වටයෙන්ම ඉවතට විසිවූයේ පළමු වරටය.

අනුශූරයන් වූ  ඕස්ටේ‍්‍රලියාවට පමණක් නොව කී‍්‍රඩකයන් කිහිපදෙනකුම ආබාධවලට ලක්වීමෙන් දැඩි පීඩනයකින් පසුවූ වේල්සයට පවා මූලික වටයේ දී එංගලන්තය පරාජය විය.

කී‍්‍රඩාව අතින් එසේ පරාජයට පත්වූවත් 8 වැනි ලෝක කුසලාන රග්බි තරගමාලාව වාණිජමය අතින් අතිසාර්ථක කරගැනීමට මෙවර තරගමාලාවේ සංවිධායක කමිටුව සමත්වීම කැපී පෙනේ. බි‍්‍රතාන්‍යයේ ආර්ථිකයට පවුම් බිලියන 2.5 ක පොම්ප කිරීමට රග්බි ලෝක කුසලාන තරගමාලාව සමත්වී තිබේ. එය අවුරුදු 28 ක අතීතයකට උරුමකම් කියන ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ හොඳම සහ ඉහළම ආදායම බව සංවිධායක කමිටුවේ සභාපති බර්නාඞ් ලැප්සෙට් මහතා පවසයි.

එංගලන්තයේ ආශ්චර්යජනක කී‍්‍රඩාලෝලීනුත් තරගමාලාව සාර්ථක කරගැනීමට උරදුන් බැව් ඔහු සිහිපත් කරයි. තරගමාලාව පුරාම සියලූ කී‍්‍රඩාංගණ පිරීඉතිරී ගියේය. මූලික වටයේ දී අයර්ලන්තය වෙතින් රුමේනියාව පරාජය වනු දැකබලා ගැනීමට වෙම්බ්ලි කී‍්‍රඩාංගණයට පැමිණ සිටි කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාව 89,267 කි. එය ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ ලෝක වාර්තාවකි.

 

     

 

 


අදහස් (0)

පවුම් බිලියන 2.5 ක් විසිරුණු තරග බිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.