Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති

පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අට අතරට එක්වීමට කුරුමානම අල්ලන ආජන්ටිනාවේ පූමාස්ලා ඊයේ (25 වැනිදා) ග්ලොස්ටෂයර් හී කිංග්ස්හෝම් කී‍්‍රඩාංගණයේ දී ජෝර්ජියාව ලකුණු 54-9 කින් පරදවා දැවැන්ත පියවරක් ඉදිරියට තැබූහ. ජයග‍්‍රහණයත්, අතිරේක ප‍්‍රසාද ලකුණත් දෙකම හිමිකර ගත් ඔවුහු දැන් ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැන අත්කර ගෙන සිටින්නේ නවසීලන්ත  ඕල් බ්ලැක්ස්ලාට පමණක් දෙවැනි වෙමිනි. 


අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතරකට වඩා පරතරයක් නැති මේ කණ්ඩායම් දෙක ඊයේ තරගයේ පළමු භාගයේ දී කරට කර සටනක නිරතවූවත් දෙවැනි භාගය එහෙම පිටින්ම පූමාස්ලාගේ දඩයමක් බවට පත්වීය. 


පූමාස්ලා බියට පත්වන ආකාරයේ අභියෝගාත්මක කී‍්‍රඩා රටාවක නිරතවෙමින් සිටි ජෝර්ජියානු ලෙලෝස්ලා පළමු භාගය නිමාවීමට පෙර ද`ඩුවම් පහර ති‍්‍රත්වයකින් සිය ලකුණු මල්ල පුරවාගත්හ. 


ලකුණු 14-9 ක වාසියක් අතැතිව පළමු භාගය නිමා කළත් කවුරුත් සිතුවේ පූමාස්ලාට දෙවැනි භාගය නම් ලෙහෙසි වන්නේ නැති බවකි. 


එහෙත් දෙවැනි භාගය ආරම්භ වී සිවුවැනි මිනිත්තුවේ දී ජෝර්ජ්ියානු පිලේ නායක මමුකා ගෝගොඞ්සේ අයර්ලන්ත විනිසුරු ජේ.පී.ඩොයිල්ගේ උදහසට ලක්වී කහ කාඞ් පතෙන් අවවාද ලැබීමත් සමග සියල්ල වෙනස් විය. 


පසුගිය සතියේ දී ටොංගා පිලට අනපේක්ෂිත පරාජයක් උරුම කළ ජෝර්ජියානු ලෙලෝස්ලාගේ විශිෂ්ඨ ජයග‍්‍රහණයේ වැඩි හරියක් කරනු ලැබූවේ ගෝගොඞ්සේය. පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුවූයේ ඔවුන්ගේ සීමා ඉරට ආසන්නයේ දෙපිලේහිම කී‍්‍රඩකයන් හරි හරියට පොරබදමින් සිටියදී එතුල සිටි ගෝගොඞ්සේ පන්දුව නිදහස් නොකොට අනවශ්‍ය ආකාරයෙන් සිරකර තබාගැනීම නිසාය. ඔහුගේ ඉවත්වීමේ ප‍්‍රතිඵලය වූයේ  ඊළ`ග මිනිත්තු හයේ දී පූමාස්ලාගේ උත්සාහක දිනුම් වරුසාවකට ලෙලෝස්ලා හසුවීමය. 


මිනිත්තු හයක් තුල ගෝල තුනක් ලබාගත් ආජන්ටිනාව සිය ප‍්‍රතිවාදීන්ට කිට්ටුවිය නොහැකි ලෙස ලකුණු සංඛ්‍යාව 35-9 කින් ඉහළට ඔසවා තැබුවේය. තෝමස් කොබේලි, ජුවාන් ඉම්හොෆ් සහ සන්තියාගෝ කොර්ඩෙරෝ මෙසේ මිනිත්තු දෙකින් දෙකට තැබූ උත්සාහක දිනුම් ති‍්‍රත්වය ගෝල බවට පත්කරනු ලැබුවේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලොස් සැන්චේස් විසිනි. ඔහු දවසේ තරුව බවට පත්වෙමින් පූමාස්ලාගේ දැවැන්ත ජයග‍්‍රහණයේ ලොකුම පංගුකාරයා විය. 


ඊයේ තරගයේ සිවුවැනි මිනිත්තුවේදීම යාර 22 සීමාවේ ගෝල් කණුවට හරි කෙළින් සිට මෙවර තරගමාලාවේ පළමු වැනි ඩ්‍රොප් ගෝලය ලබාගත් සැන්චේස් අනතුරුව පළමු භාගය තුළ ද`ඩුවම් පහර දෙකක් ද සාර්ථක කරගත්තේය. 


තරගයේ 69 වැනි මිනිත්තුවේ දි මාටින් ලැන්ඩජේා් සහ ඊට මිනිත්තු දෙකකට පසුව කොර්ඩෙරෝ වාර්තා කළ උත්සාහක දිනුම් නිසා මෙවර තරගමාලාවේ සිය මංගල ජයග‍්‍රහණය උත්සාහක දිනුම් 7 ක් සමග වාර්තා කිරීමට පූමාස්ලා සමත්වූහ. 

 


අදහස් (0)

පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.