Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී

ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී

ශනුක අරවින්ද - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයකදී වැඩි කරදරයකින් තොරවම රුමේනියාව ලකුණු 38-11කින් පරදවා පහසු ජයක් අත්කර ගැනීමට වත්මන් අනුශූරයන් වන ප‍්‍රංශය සමත්විය. ඒ සමගම අතිරේක ප‍්‍රසාද ලකුණක් ද හිමිකර ගනිමින් අයර්ලන්තය අභිබවා ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකිවිය.

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි තැන සිටින රුමේනියාවට මෙවර ලෝක කුසලාන තරගමාලාවේ සිය පළමු තරගයට එක්වෙමින් ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම හමුවේ නරඹන්නන් බවට පත්වීය. තරගය පැවැත්වූයේ වැඩි අත්දැකීම් කන්දරාවක් නැති කෝඩුකාර කණ්ඩායමක් සමග වූවත් ඊයේ තරගය නැරැඹීමට පැමිණි කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාව 50,000 කට අධික විය.

මෙතෙක් කිසිදු අවස්ථාවක ලෝක රග්බි කුසලාන මූලික වටයෙන් ඔබ්බට නොගියත් මෙවර තරගමාලාවේ දි ඔවුන්ට ඉතාලියට සහ අයර්ලන්තයට සටනක් දිය හැකි තරමේ දස්කම් ඇති බැව් ඊයේ තරගයේ ඇතැම් අවස්ථාවල දී හොඳින් පෙන්නුම් කෙරිණි. ප‍්‍රංශයට ජය හිමිකර දෙමින් තරගය නිමාවට පත්වූවත් ඊයේ තරගයේ රුමේනියාවේ වී.එන්.උර්සචේ තැබූ අනගි උත්සාහක දිනුම විශිෂ්ඨ එකක් විය. ඔහු මේ හපන්කම කළේ තරගය නිමාවීමට මිනිත්තු 6 ක් පමණක් ඉතිරිව තිබියදීය. ඒ වනවිට ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 31-6 ක් ලෙසිනි.

තරගය ආරම්භවී 7 වැනි මිනිත්තුවේ දී රුමේනියානු පිලේ ඩනුට් ඩුම්බ‍්‍රාවා ‘නියමිත සීමාවෙන් ඉවත’ සිටිමෙන් ලද දඩුවම් පහරක් සාර්ථක කරගත් ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක මෝගන් පරා ප‍්‍රංශයේ ලකුණු ගිණුම ආරම්භ කළේය. ඊට මිනිත්තු 12 කට පසුව රුමේනියාවේ සෙන්ටර් කී‍්‍රඩක ෆ්ලෝරින් ව්ලැයිකු දඩුවම් පහරක් මගින් සිය කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ආරම්භ කඵ හෙයින් රග්බි ලෝකයේ දැවැන්තයන් සමග හරි හරියට ලකුණු 3-3 ක් බැගින් සමවීමට රුමේනියාවට හැකිවිය.

තත්ත්වය එලෙසින්ම තිබියදී ඊළග මිනිත්තු 10 ගතවනතුරුම තරගය ඇදගෙන යාමට රුමේනියාව සමත්වූයේ ඊයේ කී‍්‍රඩාංගණයට පැමිණ සිටි රුමේනියානු කී‍්‍රඩාලෝලීන්ගේ ඔල්වරසන් හඩ මැද්දේය.

එහෙත් 30 වැනි මිනිත්තුවේ දී සොෆියානේ ගියුටොනේ තැබූ ඔහුගේ පළමු උත්සාහක දිනුමෙන් පසුව ප‍්‍රංශ කී‍්‍රඩකයන්ගේ ‘කට ගැස්මක්‘ බවට පත්වීමට රුමේනියාවට සිදුවූයේය. එතැන් සිට සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ප‍්‍රංශ කී‍්‍රඩකයෝ හිටි හැටියේම තරග රටාව වෙනස් කළහ.

ප‍්‍රංශයේ උපක‍්‍රමය වූයේ පන්දුව රැගෙන උත්සාහක දිනුමක් කරා දිවයනවාට වඩා ඉහළ පා පහරකින් පන්දුව ප‍්‍රතිවාදීන්ගේ සීමාව දෙසට වැටෙන්නට සලස්වා රුමේනියානු කී‍්‍රඩකයන් අභිබවා එදෙසට දිව යාමයි. එමගින් ඔවුහු අපමණ පී‍්‍රිතියක් ලැබුවත් එය ප‍්‍රංශ කී‍්‍රඩාලෝලීන්ට නම් එතරම් සිත් ගත්තේ නැත.

ඔවුන් එවැනි සෑම අවස්ථාවකදීම සිය අප‍්‍රසාදය පළ කළේ කී‍්‍රඩාංගණය සිසාරා යන තරමේ හූ හඩ පතුරුවමිනි.

 

 


අදහස් (0)

ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.