Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බ‍්‍රසීලයෙන් කදිම ආරම්භයක්

බ‍්‍රසීලයෙන් කදිම ආරම්භයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමට එරෙහිව වසර 7 ක් තිස්සේ පැවැති විරෝධතා සහ වැඩවර්ජන සියල්ලම නිමාවට පත්කරමින් 12 වැනිදා ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ක්‍රොඒෂියාව පරාජය කරමින් ගෝල 3-1 ක පහසු ජයක් ලබාගැනීමට සත්කාරක රට වන බ‍්‍රසීලය සමත් විය.

ඇතැම් අවස්ථාවලදී එය බ‍්‍රසීලයේ  හොඳම පාපන්දු කී‍්‍රඩාව ලෙස නොපෙනුනද ඔවුන් නියම රිද්මයට පැමිණි කල්හි කිසිවකුට ඔවුන් නතර කරනු තබා ඒ ගැන සිතීමටවත් නොහැකි විය.

අද්වීතීය ප‍්‍රහාරකයා වන නෙයිමාර් සහ උද්යෝගිමත් භාවයේ කැඩපතක් බඳු ඔස්කා එක්ව තරගය ගල ග‍්‍රහයෙන් ගෙන ජයග‍්‍රහණය ගැන සිහින දකිමින් සිටි ක්‍රෙඒෂියානු පිලෙන් ඈතට ඇදගෙන ගියහ.

තරගය ආරම්භ වී 11 වැනි විනාඩියේදී ආරක්‍ෂක කී‍්‍රඩක මාර්සෙලෝගේ පාදයේ වැදී බ‍්‍රසීල දළ තුළට වැදුණු පන්දුව ක්‍රොඒෂියානු පිලට අනපේක්‍ෂිත ගෝලයක් දුන්නෙන් බ‍්‍රසීලය පරාජය කිරීමට සිහින දකිමින් සිටි ක්‍රොඒෂිනුවන්ගේ බලාපොරොත්තු හදිසියේම ලියළා, දළු ලමින් වැඩෙන්නට විය. එහෙත් 1-0 ක් ලෙසින් පෙරමුණේ සිටි ක්‍රොඒෂියානුවන්ට බ‍්‍රසීල පිලේ ප‍්‍රහාරකයා වන නෙයිමාර් අමතක විය.

ගෝලය ඉදිරිපිට හතරැුස් කොටුවෙන් පිටත සිටම අදහිය නොහැකි පහරකින් තරගය සමකළ නෙයිමාර් දෙවැනි අර්ධයේදී ඉතාමත් පහසු දඬුවම් පහරකින් තවත් ගෝලයක් ලබාගනිමින් බ‍්‍රසීලය පෙරමුණට ගෙන ආවේය.

අවශ්‍ය විටෙක නියමිත වේලාවක් පන්දුව නවතා ගනිමින්ද, නැවත වරක් ප‍්‍රතිවාදීන් මුළා කරමින්ද, අති විශිෂ්ට ආකාරයෙන් පන්දුව රැුගෙන ගිය මැද පෙළ කී‍්‍රඩක ඔස්කා තුන්වැනි ගෝලය ලබාගත්තේ සා ඕ පාවුලෝ නුවර කොරින්තියන්ස් කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 62,103 ක කී‍්‍රඩාලෝලීන්ගේ උන්මාදනීය ඔල්වරසන් හඬ මැදිනි.

පාපන්දු කී‍්‍රඩාවේ අධ්‍යාත්මික නිවහන ලෙස ලෝ පුරා හැඳින්වෙන බ‍්‍රසීලයට පාපන්දු ලෝක කුසලාන පැමිණි අවස්ථාවේදී, ආරම්භක තරගයේදීම ගෝල දෙකක් ලබාගැනීම තරගයේ වීරයා වූ, තවමත් 22 හැවිරිදි නෙයිමාර් සිහිනෙන් පවා නොපැතූ දෙයකි.

”මට සතුට උහුළා ගන්න බෑ. සතුටුයි..සතුටුයි....සතුටුයි....මේක මගේ සිහිනයකවත් තිබුණ දෙයක් නෙමේ” යයි තරගයේ වීරයා වාර්තාකරුවන්ට පැවසීය.

”අප නිවැරදි පියවරෙන්, ජයග‍්‍රහණයකින්, පටන් ගත්තා”

”එහි ගෞරවය මුළු කණ්ඩායමටම ලැබෙන්න  ඕනෑ.....ඔවුන් කිසි කලබලයක් නැතිව, පසුපසින් ඇවිදින් තරගය ජයග‍්‍රහණය කළා” යයිද නෙයිමාර් පැවසීය.

ස්වදේශීය කී‍්‍රඩා ලෝලීන් තරගයේ ජයග‍්‍රහණය සැමරුවේ සුපුරුදු බ‍්‍රසීල රංගනයෙනි. මෙම ජයග‍්‍රහණය ඔවුන්ට හයවැනි ලෝක කුසලානය දිනාගැනීම කරා යන ගමනේ ආරම්භය විය.

එහෙත් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූයේ එසේ නොවේ. එය මෙතෙක් පැවැති කිසිදු ලෝක කුසලාන තරගාවලියකට නොවූ තරම් විරෝධතා මැද සංවිධානය විය.

රටේ පවතින දුගී දුප්පත් කම නැති කිරීමට පියවර නොගෙන, පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කළ ඉදිකිරීම් සඳහා ඩොලර් බිලියන 11 ක් වැය කිරීම සම්බන්ධයෙන් බ‍්‍රසීලියානුවන් තුළ කැකෑරෙමින් පැවැති කෝපය විදාරණය වූයේ තැන තැන සංවිධානය කෙරුණු උද්ඝෝෂණ සහ විරෝධතා වලිනි. මේ සම්බන්ධයෙන් ස්වදේශිකයන්ගේ කෝපය කොයි මොහොතේ පුපුරා යාද යන්න සෑම දෙනා තුළම බලවත් සැකයක් තිබිණ.

මෙම සැකය කොයිතරම් බලවත් වූයේද යත්, බ‍්‍රසීලයේම පැවැති සහ-සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් වලට ලැබුණු ප‍්‍රතිවාදී පිළිගැනීමත් සැලකිල්ලට ගත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝෂප් බ්ලැටර් මහතා මෙන්ම බ‍්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසොෆ් මහත්මියද තරගාවලියේ සමාරම්භක උත්සවයේදී කතා පැවැත්වීමෙන් වැළකී සිටියහ.

සියල්ල මෙසේ තිබියදී ඇරඹුනු තරගයේ විනාඩි 90 ක තරග කාලය සම්පූර්ණයෙන්ම පාපන්දු කී‍්‍රඩාවට අයත් විය. එය පාපන්දු කී‍්‍රඩාවේ බලය පෙන්වීමක් වැනි විය.

එසේ වුවත් තරගය පැවැත්වෙමින් තිබියදීම තමන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා නොදීම ගැන ජනාධිපතිනියට අවලාද නැගූ බ‍්‍රසීල ජාතිකයෝ ගෝලයක් ලබාගත් අවස්ථාවල ජනාධිපතිනිය එහි සතුට විඳගන්නා ආකාරය කී‍්‍රඩාංගණයේ දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වුණ සෑම අවස්ථාවකදීම ‘හූ හ`ඩින්’ ඇයට සංග‍්‍රහ කළහ.

තමන්ගේ ජන්ම භූමියේදීම ලෝක කුසලාන දිනාගැනීම යනු බ‍්‍රසීල පිල 1950 දී උරුගුවේ පිල හමුවේ ලද පරාජයේ වේදනාව මකා ගැනීමකි. ඒ සඳහා ඔවුන් තවත් ජයගත යුත්තේ එක දිගට පැවැත්වෙන  තරග 6 ක් පමණි.

මෙම තරගයේදී ක්‍රොඒෂියාව ගෙදර වැඩ කර නොතිබූ බව පැහැදිළිවම දැකගත හැකිවිය. ඉදිරි පෙළ කී‍්‍රඩක ඉවිකා ඔලික්ගේ හිසින් නික්මුණු පන්දුව දැළ තුළට ඇදී නොගිය නමුත් 11 වැනි විනාඩියේදී බ‍්‍රසීල පිල තමන්ගේම දැළ තුළට පන්දුව යවාගැනීම නිසා ක්‍රෙඒෂියාව පෙරමුණට පැමිණියේය.

ඔලෙක්ගේ හිසින් ගිය පන්දුව බ‍්‍රසීල පිලේ තියාගෝ සිල්වාගේ පා අතරින් ගොස් නිකිකා ජෙලවික් වෙත ගියේය. තමන්ට රිසි ආකාරයෙන් ඇදී ගිය ‘බර්සුකා’ (ලෝක කුසලාන තරගාවලිය සඳහා යෙදාගන්නා පාපන්දුවේ නම) බ‍්‍රසීල පිලේ මාර්සෙලෝගේ පයේ ගැටී දැළ තුළට වැදී ගන්නා අතරේ දැළ රකින්නා වන ජූලියෝ සීසර්ට කිසිවක් කරනු තබා සිතාගැනීමටවත් කාලයක් නොවීය.

කී‍්‍රඩා ලෝලීන් ඉහළට ගත් හුස්ම පහළ හෙළා ගත නොහැකි වූ හෙයින් එක මොහොතකට ගල්ගැසී නිහඬ වුණ කී‍්‍රඩාංගණයම සැණෙකින් පිබිදෙමින් ‘බ‍්‍රසීල්’ ‘බ‍්‍රසීල්’ යන නදින් ප‍්‍රතිරාව දෙන්නට විය. ප‍්‍රතිඵල ඉක්මනින්ම ලැබිණ.

කී‍්‍රඩා ලෝලීන්ගේ ආයාචනාවට ප‍්‍රතිචාර දැක්වූ නෙයිමාර්, 29 වැනි විනාඩියේදී පන්දුව දැළ තුළට යොමු කළේ තරගය සම ලකුණු තත්ත්වයට ගෙන එමිනි. අනතුරුව 71 වැනි විනාඩියේදී ජපාන ජාතික විනිසුරුවරයා දුන් දඬුවම් පහරකින් ප‍්‍රයෝජන ගත් නෙයිමාර් තමන්ගේ 50 වැනි අන්තර්ජාතික තරගය සදානුස්මරණීය තරගයක් කරගත්තේ තරගයේ දෙවැනි ගෝලය සමගින් බ‍්‍රසීල පිල ඉදිරියට ගෙන එමිනි. එය නෙයිමාර්ගේ 33 වැනි අන්තර්ජාතික ගෝලයද විය.

විනිසුරු නිෂිමුරා මහතා විසින් බ‍්‍රසීල පිලට දුන් දඬුවම් පහර සම්බන්ධයෙන් ක්‍රොඒෂියානු කී‍්‍රඩකයන්ගේත් පුහුණුකරු නිකෝ කොවැක් මහතාගේත් බලවත් විරෝධයක් තිබිණ. නිකෝ කොවැක් තරගයෙන් පසුව ඒ ගැන කීවේ මෙය ‘සර්කස් එකක්’ බවයි.

”මේක මහ විකාරයක්..මේ විදිහට පාපන්දු කී‍්‍රඩාව කරගෙන ගියොත් අපට සහභාගි වන්න වෙන්නේ සර්කස් එකකටයි”

”ඒකටත් දඬුවම් පහරක් දුන්නා නම් අප පාපන්දු සෙල්ලම් කරන්න  ඕනෑ නෑ. ඒක මේ වැනි තරගයක් විනිශ්චය කිරීමට ඊයේ පෙරේදා ආපු විනිසුරුවරයාගේ මැරවර කමක්” යයි නිකෝ කොවැක් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් බ‍්‍රසීල පුහුණුකරු ලූවිස් ෆිලිප් ස්කොලාරි මහතා පැවසුවේ තමන්ගේ ප‍්‍රතිවාදියාගේ අදහස් සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකරන නමුත් බ‍්‍රසීලය මේ දක්වා ලෝක කුසලාන 5 ක් දිනාගෙන ඇති බවත් ඒ සඳහා සර්කස් සංදර්ශන 5 ක් නොතිබූ බවත්ය.

දඬුවම් පහර පිළිබඳ විවාදය ඇදී යද්දී ඔස්කාගේ විශිෂ්ට ගෝලය ගැන නම් කිසිවෙක් වාද නොකළේය. ඒ වන විටත් වෙහෙසට පත්ව සිටි ක්‍රොඒෂියානු ආරක්‍ෂක කී‍්‍රඩකයන් මුළා කරමින් ඔවුන් අතරින් පන්දුව ගෙන ගිය මැද පෙළ කී‍්‍රඩක ඔස්කා, 3 වැනි ගෝලය බ‍්‍රසීලයට ගෙන දුන්නේ බ‍්‍රසීල කණ්ඩායම පිට පිටම ලබාගත් 10 වැනි ජයග‍්‍රහණයට මග පාදමිනි. එය ඔවුන්ගේ ලෝක කුසලාන දිනාගැනීමේ අරමුණ කරා යාමට කදිම ආරම්භයක් විය.


අදහස් (1)

බ‍්‍රසීලයෙන් කදිම ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.