Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රයිස්චර්ච් හී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය පිතිකරුවන් පන්දුවට පහරදුන් ආකාරය පිළිබඳ උද්දාමයකින් යුතුව පසුවන ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් වෙලිංටන් හී බේසින් රිසර්ව් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ හෙට (3 වැනිදා) ඇරැඹෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද සාර්ථක දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
ක‍්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී හොඳ සටනක් දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙතින් කැපී පෙනෙන ගුණාංග ගණනාවක් දිස්වූ බව නායක මැතිව්ස් කියයි.
”විශේෂයෙන් දිමුත් කරුණාරත්නගේ ශතකය ඉහළින්ම කැපී පෙනුණා. ඒ තරගයේ අපේ දෙවැනි ඉනිමේ අවසන් පිතිකරු යුගළය පවා අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩනැගුවා. මං හිතන්නේ දෙවැනි ඉනිමේ අපේ පන්දු යවන්නන් පවා නිවැරැුදි ඉලක්කයට ළඟවුණා කියලයි. ඒ ධනාත්මක හැඟීමත් එක්කයි අපි වෙලිංටන් ටෙස්ට් තරගයට එක්වෙන්නේ.” යයි මැතිව්ස් පැවසීය.
ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම දඟපන්දු යැවීමේ තුරුම්පුව වන රංගන හේරත් හෙට ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරනු ඇතැයි මැතිව්ස් පැවැසුවේය. ඒ හැරුණුවිට කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇතැයි ඔහු කීවේය.
නවසීලන්තයේදී පවතින ආකාරයේම යුතු එංගලන්ත තණතීරුවල රංගන හොඳින් කඩුලූ බිඳ දැමූ බව කී මැතිව්ස් බේසිං රිසර්ව් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී ඔහුට දස්කම් දැක්වීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය පළ කළේය.
36 හැවිරිදි රංගන පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා නොකළ අතර ඔහුගේ හිදැස පුරවමින් එම තරගයට ක‍්‍රීඩා කළ තරිඳු කෞෂාල් ටෙස්ට් වරම් ලැබුවේය.
”වැඩිපුර වෙනසක් වෙන්නේ නෑ. තරගයක් පරාජය වුණා කියලා අපි නරක කණ්ඩායමක් වෙන්නේ නෑ. කාලයක් තිස්සේ අපි ඉතා හොඳින් ක‍්‍රීඩාවේ නිරතවෙමිනුයි සිටින්නේ.” යයි මැතිව්ස් පැවසීය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙලිංටන් නුවර බේසින් රිසර්ව් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේත් පුහුණුවීම්වල නිතරවූහ. ක‍්‍රයිස්චර්ච් ක‍්‍රීඩාංගණයේ කොළ පැහැයට වඩා තද පැහැයක් එහි පෙනෙන්නට තිබෙන බව ළහිරු තිරිමාන්න පවසයි.
බේසින් රිසර්ව් තණතීරුවේ ඉතිහාසය ගත් විට පන්දු යවන්නන්ගේ හොඳම අවිය බවට නිතැතින්ම පත්වී ඇත්තේ වේගපන්දුව නොව දෝලනය වන පන්දුවයි.
නවසීලන්තයට කඩුලූ 8ක ජයක් අත්කරදුන් ක‍්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයේ දී ටිම් සවුති, ටේරන්ට් බෝල්ට් හා නීල් වැග්නර් තිදෙනා වේගපන්දුවෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ අතර ඊට වඩා තද කොළ පැහැයෙන් යුතු බේසින් රිසර්ව් තණතීරුවේ දී එය තවත් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
මෙවැනි තණතීරුවල ආරක්ෂාවීමට ඇති හොඳම ක‍්‍රමය වන්නේ හැකි පමණින් පන්දු නිදැල්ලේ යාමට හැරීම බව තිරිමාන්නගේ අදහසයි.
කෙසේවෙතත් ක‍්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයේ දී ශ‍්‍රී ලංකාව පරාජය වූයේ එක් ක‍්‍රීඩකයකු නිසා බව තිරිමාන්න සඳහන් කළේය. ඔහු අන් කිසිවකු හෝ නොව නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම්ය.
”ඒ තරගයේ පළමු ඉනිමේ දී බ්‍රෙන්ඩන් ඉතා හොඳින් පිත්ත හැසිරවූවා. මං හිතන්නේ ඒක තමයි තරගයේ හැරවුම් ලක්ෂය වුණේ. කොහොමවුණත් අපි බ්‍රෙන්ඩන් වෙනුවෙන් වෙනම සැලසුමක් හදලයි තියෙන්නේ” යයි වෙලින්ටන් නුවරදී තිරිමාන්න කියා සිටියේය.
වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් දිනාගත් වසර ලෙස 2014 වසර සාර්ථකව නිමාකරගත් නවසීලන්ත පිල හෙට තරගයට එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය. 2013 වසරේ මැයි මාසයේ එංගලන්තයේදී තරග 2-x0 කින් පරාජයවීමෙන් පසුව ඔවුන් මේ දක්වා ටෙස්ට් තරගමාලා 6 කට සහභාගි වෙමින් අපරාජිතව සිටීම විශේෂත්වයකි.
එහෙත් ටෙස්ට් පිලට නිත්‍ය ආරම්භක පිතිකරු යුගලක් සොයා ගැනීමේ අර්බුදයක තවමත් ඔවුන් පැටලී සිටිති.
කෙසේවෙතත් හෙට තරගයේ දීත් ටොම් ලේතම්ගේ සහයට හමීෂ් රදර්ෆර්ඞ් භාවිතා කිරීමට ඔවුන් තීරණය කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්ත පිලේ සිදුවූ එකම වෙනස වූයේ කොරී ඇන්ඩර්සන් යළි කණ්ඩායමට එක්වීම පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.