Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 විනිසුරුගේ අවසන් තීරණය ස්කොට්ලන්තය හඬවයි

විනිසුරුගේ අවසන් තීරණය ස්කොට්ලන්තය හඬවයි

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ තියුණුතම අර්ධ අවසන් පූර්ව තරගයක කුතුහලය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට ඊයේ එක්රොක්වූ 77,000කට අධික කී‍්‍රඩාලෝලීන්ට දැනෙන්නට සැලස්වූ  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා අවසන් මිනිත්තුවේ දී ලකුණු 35-34 කින් ස්කොට්ලන්තය පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.


මුලූමනින්ම නාට්‍යමය ස්වරූපයක් ගත් මේ තරගයේ වාසිය ආරම්භයේ සිටම දෙපිල අතර දෝලනය වූ අතර 73 වැනි මිනිත්තුවේ දී ප‍්‍රතිවාදීන්ගේ සියලූ බාධා හමුවේ නොසැලූණු ස්කොට්ලන්තයේ සෙන්ටර් කී‍්‍රඩක මාක් බර්නට් සටන්කාමී උත්සාහක දිනුමකින් ලකුණු 34-32 කින් තම පිල පෙරමුණට ගෙන ගියේය.


පළමු වතාවට ලෝක කුසලාන රග්බි තරගමාලාවක අවසන් කණ්ඩායම් හතරට පිවිසීමේ සිහිනය සැබෑ කරගැනීමට ස්කොට්ලන්තය සිටියේ මිනිත්තු 7 ක් ඈතිනි.


එහෙත් අවසන් මොහොතේ ස්කොට්ලන්ත කී‍්‍රඩකයන්ගේ විරෝධතාව කණකට නොගත් දකුණු අපි‍්‍රකානු තරග තීරක ක්‍රෙග් ජෝබට් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකු නීත්‍යානූකූල සීමාවෙන් පිට ( ඕෆ් සයිඞ්) සිටි බව කියමින් වොලබීස්ලාට පිරිනැමූ මතභේදාත්මක මෙන්ම තීරණාත්මක ද`ඩුවම් පහර තරගය උඩුයටිකුරු කළේය. පසුව ඒ සම්බන්ධව රූපවාහිනී පුනරූපන මගින් දිස්වුයේ එය සහමුලින්ම වැරැුදි සහගත තීන්දුවක් බවය.


කෙසේවෙතත් ලැබූ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් වොලබිස්ලාගේ ‘උකුසු ඇස’ හෙවත් ගෝල් කණුව අතරින් පන්දුව යැවීමේ රුසියා වන ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බර්නාඞ් ෆෝලේ සිය කණ්ඩායමට සදාකල් මතකයේ රැුඳෙන ජයග‍්‍රහණයක් අත්කර දුන්නේය.


ඒ අනුව වොලබීස්ලා අවසන් මහා තරගයේ තැනක් අපේක්ෂාවෙන් ලබන 25 වැනි ඉරිදා ආජන්ටිනාවේ පූමාස්ලා සමග තරග බිමට පිවිසෙති.


අනික් අවසන් පූර්ව තරගය ලබන 24 වැනි සෙනසුරාදා පැවැත්වෙන්නේ නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා සහ දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ස්ලා අතරය.


යුරෝපීය රග්බි කලාපය කේන්ද්‍ර කරගත් ‘සික්ස් නේෂන්ස් ශූරතාවලිය‘ට අයත් නොවන කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයට පැමිණ ඇත්තේ ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ පළමුවරටය. ලෝක කුසලාන තරගමාලාවට පමණක් දෙවැනි වන ‘සික්ස් නේෂන්ස් ශූරතාවලිය‘ට එංගලන්තය, ප‍්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සය ඇතුලත් වෙති.


වින්ග් කී‍්‍රඩක ඇඩම් ඈෂ්ලි කූපර්ගේ පහසු උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ වොලබීස්ලාට දැඩි අභියෝගයක් එල්ල කළ ස්කොට්ලන්තය නායක ක්‍රෙග් ලේඞ්ලෝගේ සාර්ථක ද`ඩුවම් පහරින් සහ සෙන්ටර් කී‍්‍රඩක පීටර් හෝර්න්ගේ සටන්කාමී උත්සාහක දිනුමත් මත ලකුණු 10-5 කින් පෙරමුණ ගත් අතර 20 වැනි මිනිත්තුවේ දී ලේඞ්ලෝ සිය දෙවැනි ද`ඩුවම් පහරත් සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව 13-5 කින් ඉහළට ඔසවා තැබුවේ වොලබීස්ලා දැඩි පීඩනයකට ඇද දමමිනි.


අනතුරුව සිය ලකුණු සංඛ්‍යාව රැුක ගනිමින් තරගය ඉදිරියට ඇදගෙන ගිය ස්කොට්ලන්ත කී‍්‍රඩකයන්ගේ ආරක්ෂක කලාපයේ හිඩැසක් අතරින් විදුලි වේගයෙන් දිව ගිය කර්ට්ලි බීල් පිරිනැමූ පන්දුව සුරැුකිව ඩැහැගත් වින්ග් කී‍්‍රඩක ඩි‍්‍රව් මිෂේල් ප‍්‍රතිවාදී සීමා ඉරට ඔබ්බෙන් මිස නැවතුණේ නැත.


ඉන් කදිම උත්තේජනයක් ගත් වොලබීස්ලා අනතුරුව කී‍්‍රඩා කළේ සිය රග්බි දිවියේ අවසන් තරගය මෙයැයි යන සිතිවිල්ලෙන් යුතුවය. එය වඩාත් තිව්ර වූයේ ඊට මිනිත්තු දහයකට පසුව මයිකල් හූපර් තැබූ අනගි උත්සාහක දිනුමෙනි. එහෙත් පිට පිට වාර්තා වූ උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට පත්කිරිමට වොලබීස්ලාගේ ‘උකුසු ඇස‘ වූ ෆෝලේ අසමත්වීම කාගෙත් විමතියට කාරණයක් විය.


ඒ අතරතුර සිය තුන්වැනි ද`ඩුවම් පහර සාර්ථක කරගත් ලේඞ්ලෝ ස්කොට්ලන්තයේ ලකුණු සංඛ්‍යාව 16-15 කින් ඉදිරියට ගෙන ගියේ තරගයේ පළමු භාගයේ ගෞරවය එහෙම පිටින්ම සිය කණ්ඩායමට ලබාගනිමිනි.


වඩාත් උණුසුම් මුහුණවරක් ගත් දෙවැනි භාගයේ දී වොලබීස්ලා කී‍්‍රඩා කළේ මේ සටන්කාමී ස්කොට්ලන්ත කී‍්‍රඩකයන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඔවුන් මානසික පීඩනයකට හසුකිරීමේ උපායශීලී සැලසුමකින් යුතුවය. ඒ අනුව දෙවැනි භාගයේ ආරම්භයේදීම ස්කොට්ලන්ත කී‍්‍රඩකයන් අන්දමන්ද කළ විල් ජිනියා පිරිනැමූ පන්දුව ඩැහැගත් මිෂෙල් සිය දෙවැනි උත්සාහක දිනුමත් තබා වොලබීස්ලාගේ පීඩනය මඳකට දුරුකොට දැමූ අතර ෆෝලේගේ සාර්ථක පා පහරන් එය ගෝලයක් බවටද පත්කර ගත්තේය. ෆෝලේ සිය පළමු ද`ඩුවම් පහර සාර්ථක කරගත්තේ ඉන් අනතුරුවය.

 

ප‍්‍රතිවාදීන්ගේ උපාය මාර්ග පිළිබඳ කදිමට නිරීක්ෂණය කළ ස්කොට්ලන්ත පිල දෙවැනි භාගයේ වොලබීස්ලා හමුවේ සිය ආක‍්‍රමණශීලීත්වය වැඩි කළ අතර තරගයේ 46 වැනි මිනිත්තුවේ දී සිය සිවුවැනි ද`ඩුවම් පහරත් ගෝල් කණුව අතරින් රිංගා යැවූ ලොඞ්ලෝ ස්කොට්ලන්තයට ඉදිරියට ගෙන ගිය අතර 58 වැනි මිනිත්තුවේ දී වින්ග් කී‍්‍රඩක ටොමී සේමර් තැබූ අනගි උත්සාහක දිනුමත් සමග ලකුණු 24-25 කින් ලකුණු පරතරය අඩුකර ගත්හ. එහෙත් 63 වැනි මිනිත්තුවේ දී ටෙවියා කුරිද්‍රනිගේ සිත් ගන්නා සුලූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ ෆෝලේ  ඕස්ටේ‍්‍රලියානුවන් ලකුණු 32-24 කින් ඉහළට ඔසවා තැබූවේය.


නායක ලේඞ්ලෝ තරගයේ සිය පස්වැනි සාර්ථක ද`ඩුවම් පහර එල්ල කරමින් මෙවර තරගමාලාවේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 77 ක් ලබා පෙරමුණ ගැනීමට සමත්විය. බර්නාඞ්ගේ පෙරළිකාර උත්සාහක දිනුම වාර්තාවූයේ ඉන් අනතුරුවය. එය සාර්ථකව ගෝලයක් බවට පත්කළ ලේඞ්ලෝ ලකුණු 34-32 කින් පෙරමුණ ගෙන දී ඉතිහාසයේ පළමුවතාවට ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගමාලාවක අවසන් පූර්ව වටයේ දොරටුව අබියසට කැඳවාගෙන ගියේය.


එහෙත් අන්තිම මිනිත්තුවේ දී තරග තීරකවරයා ස්කොට්ලන්තයේ ඉරණම තීන්දු කළ ඔහුගේ වැරැුදි තීරණය ගත්තේය.


එවර සිය ඉලක්කය සාර්ථක කරගැනීමට ෆෝලේ පසුබටවූයේ නැත. තරගයේ ජයග‍්‍රහණය වොලබීස්ලා සතුකරගත්තත් කී‍්‍රඩාලෝලීන්ගේ ගෞරවය අඩුවක් නැතිව දිනාගනු ලැබුවේ ස්කොට්ලන්ත කී‍්‍රඩකයන් විසිනි.

 

 


අදහස් (0)

විනිසුරුගේ අවසන් තීරණය ස්කොට්ලන්තය හඬවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.