Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්මිත් බාධකය නැවතත් ඉස්මතුවෙයි

ස්මිත් බාධකය නැවතත් ඉස්මතුවෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන කරා යන ගමනේදී ස්ටීව් ස්මිත් නැමැති බාධකය තමන්ට හරස් වන තරම අදත් (15 වැනිදා) වටහාගත් එංගලන්ත පන්දු යවන්නෝ පර්ත් හි පැවැත්වෙන තුන්වැනි අළු බඳුන තරගයේ දෙවැනි දිනයේදී කඩුලු 3 කින් පමණක් සෑහීමකට පත්වූහ. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 55 ක් තුළදී ක්‍රීඩාගාරයට යැවීමට ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් එවර්ටන් සමත් වූහ. එහෙත් උස්මන් කවාජා සමග එක්වෙමින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් දිනය අවසානයේදී නොදැවී ලකුණු 92 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු පිල ස්ථාවර තත්ත්වයකට කැඳවාගෙන ආවේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිල සිය මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 403 ක් ලබාගත් අතර දෙවැනි දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය.

තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 4 කට ලකුණු 305 ක් ලබාගනිමින් ස්ථාවර තත්ත්වයක සිටි එංගලන්ත පිල එක් අවස්ථාවකදී කඩුලු 6 ක් අතැතිව ලකුණු 368 ක් ලබා සිටියේය. එහෙත් ඬේවිඞ් මාලන් දවාගැනීමත් සමගින් තරගයට කඩා වැදුණු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ ලකුණු 35 ක් තුළදී එංගලන්ත ඉනිම නිමා කළහ. එංගලන්ත පිලේ කඩුලු 9 ක් මිචෙල් ස්ටාක් (91/4), ජොස් හේසල්වුඞ් (92/3) සහ පැට් කමින්ස් (84/2) අතර බෙදී ගියේය.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක වූ නමුත් පසුව ස්මිත් කළ පිතිහරඹය හේතුවෙන් දෙවැනි දින නිමාව වන විට තරගය දෙපිලටම සමබර තත්ත්වයක තිබිණ. කෙසේ වෙතත් මිචෙල් මාෂ් දවාගැනීමට තිබූ අනගි අවස්ථාවක් සංචාරක පිල වෙතින් ගිළිහී ගියේ ෆෝවර්ඞ් ෂෝට් ලෙග්හි සිටි මාක් ස්ටෝන්මන්ගේ සපත්තුවේ වැදුණු පන්දුව රැකගැනීමට පන්දු රකින්නාත් කඩුලු රකින්නාත් දෙදෙනාම පැන්න හෙයිනි. දෙදෙනාටම උඩපන්දුව රැකගත නොහැකි විය.

එංගලන්ත පන්දු යවන්නන්ට කිසිම අපහසුතාවකින් තොරව මුහුණ දුන් ස්මිත් පිටියේ සෑම දිශාවකටම පන්දුව යවමින් මුහුණ දුන් පන්දු 112 න් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඉන් එකක් හයේ පහරක් විය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඬේවිඞ් මාලන් (140) සහ ජොනී බෙයාර්ස්ටෝ (119) එක්ව ගොඩනැංවූ ලකුණු 237 ක සම්බන්ධතාව එංගලන්තය වෙනුවෙන් පැවැති දීර්ඝකාලීන වාර්තාවක් බිඳ හෙළීමක් විය. අළු බඳුන තරගාවලියේදී එංගලන්තයේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව වූයේ 1938 දී එඩී පේන්ටර් සහ ඩෙනිස් කොම්ප්ටන් විසින් ටේ‍රන්ට්බිජ්හිදී ගොඩනංවන ලද්දකි.

 

 


අදහස් (0)

ස්මිත් බාධකය නැවතත් ඉස්මතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.