Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්ලිමානි ඇල්ජීරියාව දෙවැනි වටයට ගෙනෙයි

ස්ලිමානි ඇල්ජීරියාව දෙවැනි වටයට ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහයන් 4කට පසුව යන්තම් ගෝලයක් ලබා ගනිමින් රුසියාව සමග පැවැති තරගය 1-1 කින් සම කරගත් ඇල්ජීරියාව  ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක දෙවැනි වටයට පිවිසීමේ භාග්‍ය උදාකර ගත්තේය. ඇල්ජීරියාවට එම අවස්ථාව ලබාදී එරට පාපන්දු ඉතිහාසයේ විරයා බවට පත්වූයේ ඉස්ලාම් ස්ලිමානිය.

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ඔහු විසින් දැළ තුළට එල්ල කරන ලද පන්දුව රැක ගැනීමට ඉගෝර් අකින්ෆීව් අසමත්විය. රුසියානු දැළ රකින්නා මීට පෙර තරගයේ ද මෙවැනි දුර්වලතාවයක් හේතුවෙන් තමන්ගේම දැළ තුළට පන්දුව දමාගැනීම නිසා ප්‍රතිවාදී පිලට ජයග්‍රහණය අත්කර ගැනීමේ මග පාදා දුන්නේය.  ‘එච්‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය බයිෂඩා හී පැවැත්විණ.

තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේ දී ඔලෙග් ෂැන්වට් යොමු කළ පන්දුවට ඉතා සාර්ථකව අලෙක්සැන්ඩර් කොකොරින් හිසෙන් ගැසූ පහරෙන් රුසියාවේ ගෝලය වාර්තාවිය. ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ රුසියානු ක්‍රීඩකයකු හිසෙන් පහරක් දෙමින් ගෝලයක් ලැබුවේ වසර 24 කට පසුවය. එහෙත් ඉන් අනතුරුව 60 වැනි මිනිත්තුව දක්වා කාලය ගෙවී ගියේ රුසියානු පිල ඉදිරියේ සිටිමිනි.

ඇල්ජීරියාවේ ගෝලය වාර්තාවීමත් සමග තරගය වඩාත් උණුසුම්කාරී ස්වරූපයක් ගත්තේය.

ඇල්ජීරියාව දෙවැනි වටයට පිවිසීමත් සමග ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ පිළිමලුන් පිටුදැකීමේ දෙවැනි වටයට එක්වූ 6 වැනි අප්‍රිකානු රට බවට පත්විය. ඊට පෙර මොරොක්කෝව, කැමරූන්, නයිජීරියාව, සෙනෙගල් රාජ්‍යය සහ ඝානාව මේ ගෞරවය දිනා සිටියේය.

නයිජීරියාව මෙවර තරගාවලියේදීත් දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටියි. ලෝක කුසලාන තරගමාලාවක දෙවැනි වටයට අප්‍රිකානු රටවල් දෙකක් සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ. දෙවැනි වටයේ දී ඇල්ජීරියාවට තරග වැදීමට නියමිතව ඇත්තේ ජර්මනිය සමගය.


අදහස් (0)

ස්ලිමානි ඇල්ජීරියාව දෙවැනි වටයට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.