Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අක්ක නගාලා සැනසිලි බස් කියති

අක්ක නගාලා සැනසිලි බස් කියති

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා ටෙනිස් තරග බිමේ එකම පවුලේ සොයුරියන් දෙදෙනකු අවසන් මහා තරගයට එක්වූ 9 වැනි අවස්ථාව සනිටුහන් කරමින් අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සෙරීනා විලියම්ස් සහ ඇගේ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල වර්තමානයේදී 13 වැනි ස්ථානයේ පසුවන 36 හැවිරිදි වීනස් විලියම්ස් පළමුවැනි අවසන් පූර්ව තරගයේදී සිය රටේම ප්‍රතිවාදී ක්‍රීඩිකා කොකෝ වැන්ඩවෙග් ලකුණු 6-7 ක්, 6-2 ක් සහ 6-3 ක් ලෙස පරාජය කිරීමට සමත්වූවාය. ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන ඇගේ බාල සොයුරිය 35 හැවිරිදි සෙරීනා දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස ක්‍රොඒෂියාවේ මිරිජානා ලුසික් බරෝනි පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගැනීමේ වාර්තාව තැබීමට සෙරීනාට අවශ්‍යව ඇත්තේ තවත් එක ජයග්‍රහණයක් පමණි. ඇය මේ වනවිට ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 ක් දිනාගනිමින් එම හපන්කම කළ ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ්ගේ වාර්තාව සමකර සිටින්නීය.

අවසන් වරට මේ අක්ක නගෝ දෙදෙනා ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් තරගයකට එක්වූයේ 2009 විම්බල්ඩන් තරගාවලියේදීය. එවර වීනස් පරාජය කිරීමට නැගණිය සමත්වූ අතර එදායින් පසුව ග්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලියක අවසන් තරගයකට වීනස් සුදුුසුකම් ලැබුවේද පළමු වරටය. 2008 වසරේ දී සිය 7 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ ලෙස විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමෙන් පසුව වීනස් තවමත් ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනා නැත.

ඇය ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේද පළමු වතාවටය.
කෙසේ වෙතත් දස්කම් අතින් අක්කාට වඩා ඉදිරියෙන් සිටින සෙරීනා මේ අත්පත් කරගැනීමට බලා සිටින්නේ ඇගේ 7 වැනි ඕස්ට්‍රේලියානු ශූරතාවයයි.

අද (28-සෙනසුරාදා) පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ටෙනිස් කාන්තා අවසන් මහා තරගය හැම අතින්ම අවධානයට ලක්වන තරගයක් බවට පත්වී ඇත්තේ එය එකම පවුලේ අක්කා නගෝ අතර පැවැත්වෙන දුර්ලභ අවසන් තරගයක් වන බැවින් පමණක් නොව එහි දී සෙරීනා ජයගතහොත් එය ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ ඇගේ නමින් වෙනම පිටුවක් ලියැවෙන කාරණාවක් ද වන බැවිනි.

“සෙරීනා ක්‍රීඩා කරන අයුරු බලා සිටිමත් විශ්මයජනකයි. ඇය පන්දුවට පහර දෙන වේගවත් බව ඇය කොයිතරම් තියුණු ප්‍රතිවාදිනියක්දැයි යන්න හොඳින්ම පැහැදිලි වෙන කාරණයක්....සෙනසුරාදා ඇය මගේ ප්‍රතිවාදිනිය විදිහට දැලෙන් එහා පැත්තේ සිටින අයුරු දැකීමත් හීනයක් වගේ.” වීනස් සිය නැගණිය ගැන එසේ කියන්නීය.

සිය වැඩිමල් සොයුරිය ගැන සෙරීනා මෙසේ කියන්නීය.

“මට වීනස් ගැන හරි ආඩම්බරයි. අපි දෙන්නම අවසන් මහ තරගයට ආපු එක ගැන මට හරිම සතුටුයි....එයා තමයි මගේ හොඳම ප්‍රතිවාදිනිය. වීනස් තරම් හොඳින් මාව පරද්දන දන්න වෙන කවුරුවත් නෑ” යයි සෙරීනා කියන්නේ සොයුරු පෙමත්, ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් පිටියේ ලෝක වාර්තාවත් අතර සිරවීමේ පීඩනයෙන් මිදීමේ උත්සාහයෙනි.

“දැන් ඉතිං අපි දෙන්නම අවසන් මහ තරගයට ඇවිත් ඉන්න නිසා කවුරු දින්නත් කමක් නෑ” යයි සෙරීනා කී කතාව ඔවුන් දෙදෙනාගේම පියා වන විලියම්ස් මහතාට සහ මව ඔරෙන්ස් ප්‍රින්ස් මහත්මියට නම් අස්වැසිල්ලක් ගෙනෙනු ඇත.

සෙරීනා එසේ කියද්දී කවුරුත් උනන්දු වන්නේ සෙනසුරාදා තරගයේදී මේ සොයුරියන් දෙදෙනාගේ මාපියන් ඔල්වරසන් දීමට සිතා සිටින්නේ කවුරු වෙනුවෙන්දැයි යන්න දැනගැනිමටය. එය කා වෙනුවෙන් වුවත් එහි කිසිදු වෙනසක් නම් නොමැත. සහතිකවම දිනන්නේ සෙරීනා කෙනකු බව හැමෝම දනිති.


- 077


අදහස් (0)

අක්ක නගාලා සැනසිලි බස් කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.