Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අයර්ලන්තයේ තුරුම්පු සියල්ලම එළියට

අයර්ලන්තයේ තුරුම්පු සියල්ලම එළියට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අද (18 වැනිදා) කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්තයට මතක හිටින පරාජයක් අත්කර දීමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි ආජන්ටිනා පූමාස්ලාගේ සෙන්ටර් කී‍්‍රඩක ජුවාන් මාටින් හෙර්නන්ඩස් විශ්වාස කරයි.

එය ස්පාඤ්ඤයේ පැවැත්වෙන සටන්කාමීත්වයෙන් පිරුණු ‘එල් ක්ලැසිකෝ‘ පාපන්දු ලීග් තරගාවලියට සමාන කරන හෙතෙම අද තරගයේ දී එවැනි සටන්කාමීත්වයක් අයර්ලන්තයට එරෙහිව පූමාස්ලා පෙන්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

වසර 1999 දී සහ 2007 දී කළාක් මෙන් තුන්වැනි වරටත් අයර්ලන්තය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් දොට්ට දමන බවට 33 හැවිරිදි මේ කී‍්‍රඩකයා පුරාජේරු කතා ගොඩක් කියයි.

”මට තාම මතකයි 1999 දී අපේ කණ්ඩායම පළවැනි වතාවට ලෝක කුසලාන රග්බි තරගමාලාවක අර්ධ අවසන් පූර්ව වටයට ඇවිත් අයර්ලන්තය ලකුණු 28-24 කින් පරාජය කළ හැටි. එතකොට මං හුගාක් පොඩියි. රූපවාහිනියෙන් තමයි මැච් එක බැලූවේ” යයි මාටින් කියයි.

කෙසේවෙතත් පූමාස්ලාගේ අභියෝගයේ දිගපළල කල් ඇතිව මැන ගත් අයර්ලන්තය සිය ප‍්‍රබලතම තුරුම්පු සියල්ලම අද තරගයේදී ගැසීමට තීරණය කර තිබේ.

ප‍්‍රංශය සමග පැවැති මූලික වටයේ අවසන් තරගය අතරතුර දී ඔවුන්ගේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ජොනී සෙක්ස්ටන්ට ඇතිවූ දරුණු ආබාධය සියයට සියයක්ම සුව නොවූවත් තරගයට කී‍්‍රඩා කරවීමේ සූදුවක නිරතවීමට අයර්ලන්ත පුහුණුකරු ජෝ ෂ්මිඞ්ට් තීරණය කර ඇත. ඒ අනුව  තරගයට සෙක්ස්ටන් නොඑන තරමට වාසිදායක බව දැන සිටි හෙර්නන්ඩස් ඇතුළු පූමාස්ලාට දැන් ඒ අභියෝගයත් කරපින්නා ගැනීමට සිදුව තිබේ.

”තුවාල ලැබූ කී‍්‍රඩකයන් ගොඩක් තරගයට එක් කොට අවදානමක් ගන්න මං සූදානම් නෑ. ඒත් අනිත් අතින් බැලූවාම අපි කරන හැමදෙයක්ම අවදානම් සහිත ඒවා තමයි” අයර්ලන්ත පුහුණුකරු එසේ කීවේ මෙම තරගයේ බරපතලකම හොඳින්ම දන්නා නිසාය.

එහෙත් ප‍්‍රංශය සමග පැවැති තරගයේ දීම ආබාධවලට ගොදුරුවූ නායක පෝල්  ඕ‘කෝනල්ට සහ ‘බ්ලයින්ඞ් සයිඞ්‘ ෆ්ලෑන්කර් කී‍්‍රඩක පීටර්  ඕ‘ මහෝනිට නම් මේ තරගයට කී‍්‍රඩා කිරීමට නොහැකි තරමට තත්ත්වය බරපතලවී තිබේ. මීට අමතරව ‘ඕපන් සයිඞ්‘ ෆ්ලෑන්කර් කී‍්‍රඩක ෂෝන්  ඕ‘ බ‍්‍රයන් එදා තරගයේ දී ප‍්‍රංශ කී‍්‍රඩක පැස්කල් පපේ නීතිවිරෝධි ලෙස තල්ලූ කළ නිසා සතියක තරග තහනමකට යටත් වීමට සිදුවී තිබේ.

එබැවින් ඉදිරිපෙළ ශක්තිමත් කිරිමට ලේන් හෙන්ඩර්සන්, ජොර්ඩි මර්ෆි සහ කි‍්‍රස් හෙන්රි කණ්ඩායමට එක්වී සිටින අතර කණ්ඩායම මෙහෙයවීමේ කාර්යය අංක අටේ කී‍්‍රඩක ජැමී හීස්ලිප්ට භාර දී තිබේ. සෙක්ස්ටන් මෙන්ම මෙම තරගයට කී‍්‍රඩා කිරීමට ලැබේවිදැයි දෙගිඩියාවෙන් පසුවූ කීත් අර්ල්ස්ද අන්තිම මොහොතේ අවස්ථාව ලැබී තිබේ. එහෙත් කණ්ඩායමේ පසුපෙළ වෙනස් කිරීමේ අදහසක් නම් පුහුණුකරු ජෝට තිබුණේම නැත.

අයර්ලන්තයට තරම් නොවූවත් ආජන්ටිනාවේ පූමාස්ලාගේ ද නමගිය කී‍්‍රඩකයන් කිහිපදෙනකු ආබාධ සහ තරග තහනම් නිසා මෙම අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වන්නේ නැත.

මාසිලෝ බොස්ච් තරග තහනමකට ලක්වී ඇති නිසා වින්ගර් කී‍්‍රඩක මටියාස් මොරොනිට මෙම තරගයේ දොරටු විවරවී තිබේ. ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චෙස් නැවත කණ්ඩායමට එක්වී ඇති නිසා ජුවන් මාටින් හෙර්නන්ඩස්ට පසුපෙළට පසුබැසීමට සිදුවී තිබේ. ආබාධයට ලක්වූ තෝමස් කුබේලි වෙනුවට මාටින් ලැන්ඩයෝ ඇතුලත් වී ඇත්තේ ස්ක‍්‍රම්හාෆ් කී‍්‍රඩකයකු ලෙසිනි.

‘මං හිතන්නේ මේක තමයි අපේ හොඳම ටීම් එක මේ මැච් එකට” යයි පූමාස්ලාගේ පුහුණුකරු ඩැනියෙල් හෝකඞ් එසේ කියයි.

”ඔවුන් පන්දුවට එන්නේ ඉතා විශ්වාසනීයත්වයකින්. අවශ්‍ය මොහොතේ කදිම පෙළ ගැස්මකින් ප‍්‍රතිවාදීන් පසුබට කරන්නත් සමත්. ඒ වගේම හොඳ ඉවසීමකින් යුතුව තම ඉලක්කය හඹා යන්න පූමාස්ලා රුසියෝ”යයි ඩැනියෙල් සිය කණ්ඩායමට ඉස්තරම් චරිත සහතිකයක් දුන්නේය. එහෙත් දෙපිල අතර මෙතෙක් පැවති රග්බි තරග 15 ක් අතරින් 10 ක්ම ජයගෙන ඇත්තේ අයර්ලන්තයයි. පූමාස්ලා දිනා ඇත්තේ පහක් පමණි.

”ඒවා සංඛ්‍යා වාර්තා විතරයි. අපේ කොල්ලෝ ඒවා ගැන හිතන්න යන්නෙ නෑ”
පූමාස්ලාගේ පුහුණුකරු කියන්නේ එවැනි කතාවකි. කෙසේ වෙතත් එහි ඇත්ත නැත්ත බලා ගැනීමට අද රාතී‍්‍ර වනතුරු සිටිය යුතුය.

 


අදහස් (0)

අයර්ලන්තයේ තුරුම්පු සියල්ලම එළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.