Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඉතිහාස වාර්තාව දකුණු අපි‍්‍රකාවේ වාසියට

ඉතිහාස වාර්තාව දකුණු අපි‍්‍රකාවේ වාසියට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් දකුණු අපි‍්‍රකාව සහ වේල්සය අතර තරගය ලන්ඩනයේ වේලාවෙන් හෙට පස්වරු 4.00 ට හෙවත් ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 8.30 ට  ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.

දෙපිලම තරගයට සූදානම් වන්නේ කයිවාරු ගසමිනි.

මීට වසර හතරකට පෙර  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා සමග නවසීලන්තයේ වෙලින්ටන් නුවර පැවැති ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 11-9 කින් ලැබූ පරාජයෙන් තම කණ්ඩායම හොඳ පාඩමක් ඉගෙනගත් බවත් හෙට (17) ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී වේල්සය සමග පැවැත්වෙන තරගයේදී නම් ඊට වඩා දෙයක් ස්පි‍්‍රංබොක්ස්ලා කරන බවත් දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ පිලේ ෆ්ලෑන්කර් කී‍්‍රඩක ෂෝක් බර්ගර් කියයි.

”රතු වයින් බෝතල් ගණන් බිබී මේ තරගය ගැන අපිට කතාකරන්න දේවල්  ඕනතරම් තියෙනවා. අදටත් ඒ තරගයේ මතකය අපේ හිත්වල හොල්මන් කරනවා”
”අපිට ආපහු සැරයක් ඒ තරගය සෙල්ලම් කරන්න ලැබෙනවානම් සහතිකයි දහවතාවකින් නව වතාවක්ම අපි දිනනවා. එදා තරගයේ දී අපි ලකුණු පුවරුවේ ඔවුන්ට වඩා පහළින් සිටීමේ පීඩනයයි මූලික හේතුව වුණේ.”

”ඒක තමයි අපි ඉගෙන ගත්තු ලොකුම පාඩම” යයි ෂොක් බර්ගර් කියයි.

”ඔබ කොයිතරම් රග්බි කී‍්‍රඩාවේ නිරතවෙලා හිටියත් වැඩක් නෑ ඔබට ප‍්‍රතිවාදීන්ට ලකුණු පුවරුවේ පීඩනය ඇති කරවන්න බැරිනම් ඔබ තරගයෙන් පරදිනවා සිකුරුයි”

”දෙවියන්ගේ නාමයෙන් එදා වෙච්ච දේ නම් මේ පාර අර්ධ අවසන් පූර්ව තරගයේ දී වෙන එකක් නෑ කියලයි මං හිතන්නේ” යයිද බර්ගර් කියයි.

ඉතාමත් හොඳ ආරක්‍ෂක පෙළක් සිටින දකුණු අපි‍්‍රකානුවෝ මෙම තරගාවලියේ අවසන් වරට පැවැති තරග තුනේදී තමන්ට එරෙහිව තැබීමට අවසර දී ඇත්තේ එකම උත්සාහක දිනුමක් පමණි. මූලික වටයේදී වේල්ස් පිලට එරෙහිව වාර්තා වූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 2 කි.

කෙසේ වෙතත් තවත් එකම එක උත්සාහක දිනුමකින් නවසීලන්තයේ ජෝනා ලොමුට හිමි ලෝක වාර්තාව තමන් සතුකරගන්නට දකුණු අපි‍්‍රකානු පිලේ බ‍්‍රයන් හබානා සූදානමින් සිටී. දෙදෙනාම මේ දක්වා ලෝක කුසලාන උත්සාහක දිනුම් 15 ක් බැගින් ලබා සිටින අතර තරගාවලියේ ඉතිරි කොටසේදී තවත් එකක් තබමින් ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට හබානා බලාපොරොත්තුවෙන් සිටී.

දෙපිලේ ශක්තිය හොඳින්ම වටහාගෙන සිටින දකුණු අපි‍්‍රකානු පුහුණුකරු හෙයිනික් මේයර් පවසන්නේ තරගයේ තීරණය කුමක්ද යන්න බලාගත හැක්කේ අවසන් විනාඩි 20 දී බවයි.

දකුණු අපි‍්‍රකාව ලබන 31 වැනිදා වෙබ් එලිස් කුසලානය දිනාගතහොත් මුලික වටයේ තරගයක් පරාජයට පත්ව ලෝක ශූරතාව දිනූ පළමු කණ්ඩායම වනු ඇත.

ඔවුන්ගේ අභිමානය ආසියාවේ රග්බි බලවතා වන ජපානය හමුවේ බිඳ වැටුණේ පළමු තරගයේදීමය.

මේ අතර වේල්සය පන්දුව පිරිනැමෙන ආරම්භක අවස්ථාවල දී වේගයෙන් ඉදිරියට යාමේ රුසියෝ බව ෆ්ලෑන්කර් කී‍්‍රඩක ෆ‍්‍රැන්කොයිස් ලෝව් කීවේය.

එබැවින් මේ තීරණාත්මක තරගයේ දී එවැනි හැකියාවන් වැඩිපුර ඇති විශිෂ්ට ෆ්ලෑන්කර් කී‍්‍රඩකයන් වන සෑම් වර්බර්ටන් සහ ජස්ටින් ටිපියුරික් හෙට තරගයේ දී කී‍්‍රඩා කරනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වෙයි.

”දෙන්නම ඉතා ආක‍්‍රමණශීලී විදිහටයි පන්දුවට එන්නේ. එවැනි දේවල්වලින් තමයි අපි ආරක්ෂා විය යුත්තේ”

මීට පෙර ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ මේ දෙපිල හමුවී ඇත්තේ එකම එක වතාවකදී පමණි. පසුගිය තරගමාලාවේ දී වෙලිංටන් නුවර පැවැති තරගයේදී දෙපිලේම කී‍්‍රඩකයන් වෙව්ලා ගිය මේ තරගයෙන් දකුණු අපි‍්‍රකාව ජයගත්තේ ලකුණු 17-16 කිනි.  

ඉන් අදහස් වන්නේ ස්පි‍්‍රංග්බොක්ස්ලා කෙතරම් කට මැත දෙඩවූවත් හෙට තරගය ලෙහෙසි පහසු එකක් නොවන බවය.  

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාව සහ වේල්සය අතර පැවැති රග්බි තරග 30 කින් 27 ක්ම ජයගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකාවයි. එහි විශ්වාසය දකුණු අපි‍්‍රකානුවන්ට තිබේ.

 


අදහස් (0)

ඉතිහාස වාර්තාව දකුණු අපි‍්‍රකාවේ වාසියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.