Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඉන්දියානුවෝ තරගය බේරා ගනිති

ඉන්දියානුවෝ තරගය බේරා ගනිති

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඕවර 11 කුත් පන්දු 3 ක් සිය කඩුලූ ආරක්ෂා රැකගත් අජින්ක්‍යා රහානේ සහ බුවනේෂ්වර් කුමාර් දෙදෙනා අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිතරවෙමින් 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 35 ක නොබිඳුණු සම්බන්ධතාව නිසා  ඕස්ටේ‍්‍රලියාව සමග සිඞ්නි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැති සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්කර ගැනිමට ඉන්දීය පිල සමත්විය.

තරගයේ අවසන් දිනය වූ අද (10 වැනිදා) අවසන් හෝරාවේදී ප‍්‍රතිවාදීන්ගේ ඉතිරි කඩුලූ තුන දවාලමින්  සිවුවැනි ටෙස්ට් තරගය ජයගැනිමට සිතා සිටි  ඕස්ටේ‍්‍රලියානුවන්ට සිදුවූයේ ඒ ආසාව අතහැරීමටය. ඔවුන්  ඉන්දිය පිලේ 7 වැනි කඩුල්ල  මුලූ ලකුණු සංඛ්‍යාව 217 ක්ව තිබියදී බිඳ දැමුවත් විනිසුරු තරගය නතර කරන තුරු රහානේ හා කුමාර් සටන අත් හැරියේ නැත.  

තරග 2-0 කින් තරගාවලිය පරාජය වීම නිසා ඒ වනවිටත් බෝඩර් - ගවස්කාර් කුසලාන අහිමි කරගෙන සිටි ඉන්දීය පිලේ එකම අදිටන වූයේ මේ තරගය පරාජයෙන් තොරව නිමාවට පත්කරගැනීමයි.

ඕස්ටේ‍්‍රලියාව ඊයේ දිනය අවසානයේ ඔවුන්ගේ දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටි තැනම නතර කරමින් ටෙස්ට් තරගයක පස්වැනි දිනයේ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක ලෙස හැසිරෙන සිඞ්නි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් ඉන්දීය පිලට ලබා දුන්නේය.

අද උදෑසන පිටියට පිවිසි ඉන්දිය පිලේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දීය ඉන්දීය පිලේ දැවී ගිය එකම කඩුල්ල වූයේ පළමු ඉනිමේ ශතකලාභි ලෝකේෂ් රාහුල් පමණි. අනතුරුව මුරලි විජේ සමග එක්වූ රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම දිවා ආහාරය වෙද්දී ලකුණු 73 දක්වා ඉහළ දැමුවේය.
 
මුලූ ලකුණු සංඛ්‍යාව 104 ක්ව තිබියදී රෝහිත් ෂර්මා දැවීයාමෙන් පසුව මුරලි විජේ සමග එක්වූ නායක විරාට් කෝලි තුන්වැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. තරගය පරාජයෙන් තොරව බේරාගැනීමට ඉන්දියාවට පිහිටවූයේ එම තීරණාත්මක සම්බන්ධතාවයි.

අද දිනයේ මිනිත්තු 255 ක් පිටියේ රැඳී සිටි මුරලි විජේ පන්දු 165 කට මුහුණදෙමින් ලකුණු 80ක් රැස් කිරීමෙන් පසුව දැවී ගියේය. අනතුරුව කෝලිගේ කඩුල්ලත්, සුරේෂ් රයිනාගේ කඩුල්ලත් ඉක්මනින් දවාලමින් ඕස්ටේ‍්‍රලියාවේ බලාපොරොත්තු නැවත ඉහළ දැමීමට මිචෙල් ස්ටාක් සමත්විය.

ඒ වනවිට ඉන්දීය ඉනිම දිස්වූයේ කඩුලූ 5 කට ලකුණු 203 ක් ලෙසිනි. ඊට තවත් ලකුණු 5 ක් එක්වෙද්දී රිදිමන් සහා ලකුණු ලැබීමටත් පෙර දවාලූ නේදන් ලයන් තරගයේ වාසිය ඕස්ටේ‍්‍රලියාව දෙසට හැරවීය. එහෙත් රහානේ හා බුවනේෂ්වර් කුමාර් එක්ව ඕස්ටේ‍්‍රලියානුවන්ගේ උත්සාහය අසාර්ථක කරමින් ඉන්දීය පිලේ ගෞරවය රැකගත්හ.

උදෑසන කාලය පුරාම පන්දුව තියුණු දඟකැවීමකට ලක්වූ සිඞ්නි තණතීරුවේ වඩාත් කාර්යබහුල පන්දු යවන්නා බවට පත්ව සිටියේ පිටදඟපන්දු යවන්නා වන නේදන් ලයන්ය. රාහුල්ගේ කඩුල්ල බිඳ දමනු ලැබුවේ ද ඔහු විසිනි.  

එහෙත් ඊට පෙර, ලයන් ඉන්දීය ඉනිමේ දහවැනි  ඕවරය යවමින් සිටියදී, මුරලි විජේ දුන් තරමක උඩපන්දුවක් රැක ගැනීමට කඩුලූ රකින බ‍්‍රැඞ් හැඩින් අසමත්විය. ඒ වනවිට ඉන්දීය ඉනිම ලකුණු 31 ක් ලෙස දිස්වූ අතර මුරලි විජේ ලකුණු 26 ක් ලබා සිටියේය.

තරගයේ වීරයා වශයෙන් මෙන්ම තරගාවලියේ වීරයා වශයෙන්ද  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීව් ස්මිත් සම්මාන දිනාගත්තේය.

 


ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 7 ට 572 යි
ඉන්දියාව පළමු ඉනිම - 475 යි.
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 6 ට 251
ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලූ 7 ට 252

(මුරලි විජේ 80, ලොකේෂ් රාහුල් 16, රෝහිත් ෂර්මා 39, විරාත් කෝලි 46, අජින්ක්‍යා රහානේ නොදැවී 38, බුවනේෂ්වර් කුමාර් නොදැවී 20, ජොස් හේස්ල්වුඞ් 31/2, මිචෙල් ස්ටාක් 36/2, නේදන් ලයන් 110/2)

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරගය බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.