Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඔව් මම භාවනා කරනවා තමයි - හේඩන්

ඔව් මම භාවනා කරනවා තමයි - හේඩන්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන මැතිව් හේඞ්න් පසුගියදා ‘විස්ඩන්‘ වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡවකට සහභාගි විය. එහිදී තමන්ගේ කී‍්‍රඩා දිවියේ මුහුණ දුන් අභියෝගත්මක අවධි සහ ඒ ඒ අවස්ථාවලට මුහුණ දුන් ආකාරයත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් වෙනස්කම් පිිළිබඳවත් හේඩන් අදහස් දක්වයි.

හේඞ්න් සමග කළ පිළිසඳරක සටහනකි මේ

ඔබ ජස්ටින් ලැන්ගර් සමග ඇතිකරගත් පළමු කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාව දකින්නේ කොහොමද..?

මුලින්ම කියන්න  ඕන ඒක මිත‍්‍රත්වයේ අවබෝධයක් කියලා.  අපි දෙන්නම ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සේන්දු වෙන්න සෑහෙන්න මහන්සි වුණා. ඒක වෙන වෙනම සිද්ධවුණත් අපි දෙන්නා එකට එකතුවුණාට පස්සේ කැපවීමෙන් වැඩ කිරීමේ වාසියත්, මිත‍්‍රත්වයේ වාසියත් අපි අවබෝධ කරගත්තා. ඒ වගේම රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමේ වැදගත්කමත් අපිට අවබෝධ වුණා. කණ්ඩායමට එකතුවෙන්න අපි එකිනෙකා ගත් උත්සාහය දෙදෙනාගෙම හිත්වලට කාවැදිලයි තිබුණේ.

 

1994 දී මංගල තරග වරම් ලැබුවත් ඔබ කණ්ඩායමේ ස්ථාවරත්වය ගොඩනගා ගන්නේ 90 දශකය අගභාගයේදි. එපමණ කලක් ඔබ දරාගෙන හිටියේ කොහොමද..? ඒ අවධිය ඔබට කොහොමද දැනුණේ..?

දවසින් දවස දියුණුවීම තමයි මාව පෙළඹෙව්වේ. ඒ අවුරුදු කිහිපය ඉතා අසිරිමත් කාලයක් වුණා. ප‍්‍රාන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩා කරමින් මම කාලය ගත කළා. විදේශ රටකට ගිහින් එහේ සෙල්ලම් කරන්න අවස්ථාව ලබා ගන්නවා කියන්නේ අමුතුම දෙයක්.

කෙලීත් මාත් එක්ක හිටියා එතකොට අපි විවාහවූ අලූත. ඒක අපි දෙන්නගේ සම්බන්ධතාව තවත් ශක්තිමත් වෙන්න  කාරණයක් වුණා.

ඒ කාලය මම හරි සතුටිනුයි  ගත කළේ. මගේ එකම අරමුණ වුණේ මගේ ක‍්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීමයි. ඒ කාලයේ අපේ ආරම්භක පිතිකරු පෙළගැස්මේ මම නිතරම දෙවැනි තැනට පත්ව සිටීම මගේ වේදනාවටත් අසහනයටත් හේතුවක් වුණා.

මයිකල් ස්ලේටර්..ඊළඟට ග්‍රෙග් බ්ලූවට්...පස්සේ මැතිව් එලියට්...මේ හැමෝටම දෙවැනිවීමෙන් මට සෑහෙන්න දුකක් වගේම විඩාබර හැඟීමක් ඇතිවුණා. මට  ඕන කළේ දෙවැනි වෙන්න නෙවෙයි. මුලට එන්නයි. ඒ අනුව මම වැඩ කරන්න පටන්ගත්තා. මං වෙනුවෙන් හඬක් නැගෙන්න නම් ලකුණු රැස් කිරීම පමණක් සෑහෙන්නේ නැති බව මම දැන සිටියා. මට  ඕන කළේ ටෙස්ට් ක‍්‍රීඩාවට එකතු වෙන්නයි. මගේ ක‍්‍රීඩාවේ ස්වභාවය මේකයි, මම ඉල්ලන්නේ මේකයි කියලා පෙන්වීමට ඒ අවුරුදු 9 හෝ 10 පුරාම මම කැපවීමෙන් වැඩ කළා. ඒ ආධ්‍යත්මික හැඟීම තමයි මාව දිරිමත් කළේ.

90 දශකය අගභාගයේ දී අපේ තේරිම් කමිටු නිලධාරීන් මාව ඉන්දියාවට යැවීමත්, 2001 ඉන්දියාව සමග පැවැති තරගාවලියෙන්ම මම යළි ක‍්‍රීඩාවට එක්වීමත් යන කරුණු දෙකම විශේෂ අවස්ථා  කියලයි මම හිතන්නේ.

 

විස්සයි20 ක‍්‍රිකට් ගැන ඔබේ අදහස කුමක්ද..? ඉන් ක‍්‍රීඩාවට සිදුවූයේ යහපතක් ද..? අයහපතක් ද..?

මම හිතන්නේ තරමක්  හොඳයි. මම එහෙම කියන්නේ ඒක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විනෝදකාමී මුහුණුවරක් ලබාදීම නිසයි. ඒක ටෙස්ට් ක‍්‍රිකට් වගේ උපායශීලී තරග රටාවක් නෙවෙයි. නමුත් ඒක තේරුම් ගැනීම හරිම පහසුයි. ඒ වගේම නැරඹීමටත් උද්යෝගීමත් දෙයක්.

විස්සයි20 තරගවලට මගේ ළමයි දක්වන කැමැත්ත අනුව තමයි මම එහෙම කිව්වේ. ඔවුන් ක‍්‍රීඩාවට යොමුවීම විශිෂ්ට දෙයක්. ඔවුන් ටෙස්ට් තරගයක් නැරැඹීමට පැමිණියොත් බාගෙවිට පොඞ්ඩක් බලලා ආපහු යාවි. ඒත් විස්සයි20 ක‍්‍රීඩාවේ ඇති උණුසුම්භාවය ඔවුන් වැඩි කාලයක් ක‍්‍රීඩාංගණයේ රැුඳී සිටීමේ කාරණයක්. ඒක තමයි මේ ක‍්‍රීඩාවේ හොඳම දේ. ක‍්‍රීඩාංගණයට වැඩිපුර මිනිස්සු ගෙන්වා ගැනීමට ලැබීම විශිෂ්ටයි.

 විශේෂයෙන් අපේ රටේ මම දන්නවා ගැහැණු ළමයි ටෙස්ට් ක‍්‍රිකට් බලන්නෙම නැති තරම්. බාගෙවිට ඔවුන් එක්දින ක‍්‍රිකට්වලට කැමැති ඇති. ඒත් මම දන්නවා විස්සයි20 ක‍්‍රිකට්වලට නම් ඔවුන් විශේෂයෙන් කැමති බව. ඒ වගේම තරගය නිමාවනතුරුම ක‍්‍රීඩාංගණයේ රැුඳී සිටීවි. ඒක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සුභවාදී දෙයක්.

 

ශෙෆීල්ඞ් පළිහ ක‍්‍රීඩාවේ තරගකාරීත්වය පහත වැටිලා කියා ඔබ හිතනවාද..? පසුගිය දශකයේ දී මෙන් හොඳ ක‍්‍රීඩකයින් බිහිකිරීමට ඕස්ටේ‍්‍රලියාවට දැන් අසීරුවී ඇත්තේ ඇයි..?

මම දන්නෙ නෑ මේ ක‍්‍රීඩා සමාජ මත පදනම් වූ ක‍්‍රමවේදය හරියට වැඩ කරනවාද කියලා. අපි  විශිෂ්ට ක‍්‍රීඩකයින් ඉන් ඉවත් කරලා තිබෙනවා කියලයි මට හිතෙන්නේ.

උදාහරණයක් විදිහට ඉන්දියානු ක‍්‍රිකට් කී‍්‍රඩාව ගත්තොත්, ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩකයින්ට ක‍්‍රීඩා කිරීමට තරම් හොඳ මට්ටමක් එහි තිබෙනවා. නමුත් එවැනි ක‍්‍රීඩකයින් ඊට සහභාගි නොවීමෙන් නැගී එන ක‍්‍රීඩකයින්ට සචින් තෙන්ඩුල්කර් වැනි ජාත්‍යන්තර ක‍්‍රීඩකයින් මුණගැසීමේ හෝ ඔවුන් සමග එක්ව ක‍්‍රීඩාකිරීමේ අවස්ථා අඩුවෙලයි තිබෙන්නේ. ඔවුන් තරග එකක් හෝ දෙකක් ක‍්‍රීඩා කරනවා එච්චරයි.

මගේ මුල් කාලයේ නම් මට ඇලන් බෝඩර් එක්ක ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ක්‍රෙග් මැක්ඩර්මොට්ගේ පන්දුවලට මුහුණදීමේ අවස්ථාව ලැබුණා. මම හිතන්නේ සාර්ථක වැඩපිළිවෙළක් තිබුණොත් හොඳයි. නමුත් යොවුන් ක‍්‍රීඩකයින්ට මුල ඉඳලම හොඳ වැඩසටහනක් ක‍්‍රියාත්මක වුණේ නැතිනම් ඔවුන් ජාත්‍යන්තර පිටියට එක්වේවි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. එය නැගී එන ක‍්‍රීඩකයන්ට ඉතා දුෂ්කරයි. ඒක අපේ ක‍්‍රීඩාවට දැඩිව බලපාන කරුණක්. අපේ කුඩා දරුවන්ට ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැනගැනීමට හෝ ඉගෙන ගැනීමට ක‍්‍රමවේදයක් නෑ.

පුහුණුකරුවන්ගේ මතය අනුව එහෙම එකක් තිබුණත් මම හිතන්නේ විශිෂ්ට ක‍්‍රීඩකයන් සමග ක‍්‍රීඩා කිරීමත්,  ඔවුන් සමග ක‍්‍රීඩා කරන අතරතුර ඉගෙන ගැනිමත් හාත්පසින්ම වෙනස් දෙයක්.

 

තරගයකට පෙර ඔබ පිටියේ වාඩිවී දෑස් පියාගන්නවා. හරියට භාවනා කරනවා වගේ. ඒ පිළිවෙත කුමක්ද..?

ඔව් මම භාවනා කරනවා තමයි. මම ලබාගත යුතු දේවල් හා මට ලැබී ඇති දේවල් මම දකිනවා. ඒ කරුණු දෙක මැද ඇත්තේ ඉතා නිදහස් තැනක්.

කවුරුවත් නැති තැනක, කවුරුවත් නොදකින තැනක ඉඳගෙන එහෙම භාවනා කරලා මම විශාල සතුටක් ලබනවා. කිසිදෙයක් ගැන නොහිතන නමුත් හැමදෙයක්ම මෙනෙහි වන ඒ මොහොතට මම වඩාත් කැමත්තක් දක්වනවා. ඔබ දන්නවද මම මොනවද අදහස් කළේ කියලා..? මම භාවනා කරන්න එක හේතුවක් තමයි අවකාශයට එක්වීමට තරම් සැහැල්ලූවක් හිතට දැනීම. ඒක මට පහසුවක්. මගේ හිත නිදහසේ තබා ගැනීමට ඒක මට විශාල රුකුලක්.


පරිවර්තනය : මොහාන් ප‍්‍රනාන්දු

(විස්ඩන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙනි)


අදහස් (0)

ඔව් මම භාවනා කරනවා තමයි - හේඩන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.