Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියානුවෝ ක්ලාක් කෙරෙහි විශ්වාසය තබති

ඕස්ටේ‍්‍රලියානුවෝ ක්ලාක් කෙරෙහි විශ්වාසය තබති

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාදයේ කලව මස්පිඬුවේ මෙන්ම පිටකොන්දේත් අසීරු ආබාධ තිබියදීත්  ඕස්ටේ‍්‍රලියානු ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා වශයෙන් මයිකල් ක්ලාක් නම්කිරීමට  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු අද (11 වැනිදා) තීරණය කළහ. මෙම ආබාධය නිසාම සැත්කමකට ලක්වූ හෙයින් ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරග තුනේදීම මයිකල් ක්ලාක්ට කී‍්‍රඩා කළ නොහැකි වූ අතර එම තරග තුනේදී ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවන ලද්දේ ස්ටීව් ස්මිත් විසිනි.

කෙසේ වෙතත් ඉතා වෙහෙසකර තරගාවලියක් වන ලෝක කුසලාන තරාවලිය සඳහා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කරන ලෙස පෙබරවාරි 21 වැනිදා දක්වා කාලයක්  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් මයිකල් ක්ලාක්ට දී තිබේ.

”තමන්ගේ ආබාධයෙන් සුවය ලබන්නේ නම්, ලෝක කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පෙරමුණ ගෙන යාම අපි නායක මයිකල් ක්ලාක්ට පවරනවා”

”මයිකල් ක්ලාක් කියන්නේ ලෝකයේ සිටින ඉතාමත් විශිෂ්ට පිතිකරුවෙක්. ඒ නිසා ඔහුට ඒ වගේ වැදගත් තරගාවලියක් වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව දීමට අප බලාපොරොත්තු වෙනවා”

”අප කාගේවත් ශාරීරික යෝග්‍යතා පිළිබඳ කතාකරන්න බලාපොරොත්තු වන්නේ නෑ. ඒත් පෙබරවාරි 21 වැනිදා වන විට අප කිසියම් ස්ථාවරයකට පත්ව සිටිය යුතුයි. ඒ නිසා කොතැනින් හෝ අපේ සීමාව සලකුණු කරගන්නත්  ඕනෑ” යයි  ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු ප‍්‍රධානී රොඞ්නි මාෂ් මහතා පැවසීය.

මයිකල් ක්ලාක්ගේ ස්ථානය වෙනුවෙන් අතිරේක කී‍්‍රඩකයකු නම් කර නැත. එහෙත් රොඞ්නි මාෂ් මහතා පවසන්නේ ක්ලාක් අපේක්‍ෂිත සුවය නොලබන්නේ නම් ජෝර්ජ් බේලි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායකත්වය බාරගනු ඇති බවයි.

මේ වනවිට 33 හැවිරිදි මයිකල් ක්ලාක් පිටකොන්දේ ආබාධයකට මෙන්ම පාදයේ කළව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳිමින් සිටී.

”මා සුවය ලබාවි කියා මා හිතනවා....මගේ අරමුණ වෙන්නේ කොයි තරම් කාලයක් ගියා වුණත් සම්පූර්ණ සුවයම ලබන්නයි”

”ඒත් මා හිතන විදිහෙන් වැඩක් නෑ..තේරීම් කමිටුව ඒ ආකාරයෙන් කතාකර තියෙන්නේ ඒ නිසයි...අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යාන්ත‍්‍රණය මේකයි” යයි ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී මයිකල් ක්ලාක් පැවසීය.

”නැවත නියමිත ශාරීරික යෝග්‍යතාවට ඇවිත් පිට්ටනියට බහින එක මගේ වගකීමක්” යයිද මයිකල් ක්ලාක් වැඩිදුරටත් පැවසීය.

මේ අතර කලව මස්පිඬුවේම ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි සහ සිවුවැනි ටෙස්ට් තරග අහිමි කරගත් තුන් ඉරියව් කී‍්‍රඩක මිචෙල් මාෂ්ද  ඕස්ටේ‍්‍රලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබේ.

මිචෙල් ජොන්සන්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජෝ හේසල්වුඞ් යන සිවුදෙනාගෙන්  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු බලඇණිය සමන්විත වන අතර සේවියර් ඩූහටි සහ ග්ලෙන් මැක්ස්වෙල් දග පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරනු ඇත. කඩුලූ රැකීම බ‍්‍රැඞ් හැඩින්ට බාර වී තිබේ.

කෙසේ වෙතත් මේ මස මුල් සතියේදීම ආරම්භ වන තුන්කොන් තරගාවලියේදී මිචෙල් ජොන්සන් විවේක ගන්වනු ඇතැයි වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයක් වන්නේ  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පෙබරවාරි 14 වැනිදා මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයයි.

 

ඕස්ටේ‍්‍රලියානු ලෝක කුසලාන සංචිතය

මයිකල් ක්ලාක් (නායක), ජෝර්ජ් බේලි, පැට් කමින්ස්, සේවියර් ඩූහටි, ජේම්ස් ෆෝක්නර්, ඒරන් ෆින්ච්, බ‍්‍රැඞ් හැඩින්, ජෝ හේසල්වුඞ්, මිචෙල් ජොන්සන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඬේවිඞ් වෝනර් සහ ෂේන් වොට්සන්

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ ක්ලාක් කෙරෙහි විශ්වාසය තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.