Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නවකයා වගකීම අකුරටම ඉටුකරයි

නවකයා වගකීම අකුරටම ඉටුකරයි

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිය සුපුරුදු තරග රටාවට අවතීරණ වූ දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා ඊයේ නිව් කාස්ල් හී සාන්ත ජේම්ස් කී‍්‍රඩාංගණයේ දී ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 34-16 ක පහසු ජයක් වාර්තා කරමින් මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට එබිකම් කිරීමට පටන්ගත්හ.  දැන් ඉතින් ඔවුනට ඇත්තේ ලබන බදාදා (7) අමෙරිකාව සමග පැවැත්වීමට නියමිත තරගය ජයගෙන අවසන් කණ්ඩායම් අටට එක්වීමේ පහසු ඉලක්කයකි.

ලෝක කුසලාන තරගමාලාවේ පළමු තරගයේදීම ජපානය හමුවේ ලැබූ කටුක පරාජයේ අමිහිරි මතකය හිතට තුරුළු කරගනිමින්ම ඊයේ තරගයට එක්වූ ස්පි‍්‍රංග්බොක්ස්ලා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වූයේ ස්කොට්ලන්තය දෙවැනි තැනට ඇද දමමිනි.

ස්කොට්ලන්ත පුහුණුකරු වර්නන් කොටර් ඊයේ තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් 11 ක්ම කළත් පරාජය හැර වෙනත් දෙයක් ඔවුන්ට හිමිවූයේ නැත. එය මෙම තරගාවලිය්දී ඔවුන් අත්විඳි පළමු පරාජයයි. මෙම තත්ත්වය මත අවසන් අට දෙනා අතරට පිවිසීමේ බලාපොරොත්තුව ලබන සෙනසුරාදා (10) සැමෝවා පිල සමග පැවැත්වෙන තරගය දක්වා කල් දැමීමට ස්කොට්ලන්තයට සිදුවී තිබේ.

ස්කොට්ලන්ත කී‍්‍රඩකයන්ගේ අනවශ්‍ය කළබලයෙන් උපරිම ප‍්‍රයෝජනය ගත් ෂෝක් බර්ගර් 12 වැනි මිනිත්තුවේදී තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ 21 හැවිරිදි හෙන්රි පොලාර්ඞ් දකුණු අපි‍්‍රකාව ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය. අනතුරුව දෙපිලේ කී‍්‍රඩකයන් එකපොදියට පන්දුවකට පොර බඳිද්දී ලද දඩුවම් ගෝලය සාර්ථක කරගත් පොලාර්ඞ්, ලකුණු 10-0 කින් ස්පි‍්‍රංග්බොක්ස්ලා 16 වැනි මිනිත්තුවේදී තවත් ඉදිරියට ගෙන ගියේය.  

ස්කොට්ලන්ත කී‍්‍රඩකයන්ගේ පීඩනය තවත් වැඩිවූයේ 26 වැනි මිනිත්තුවේදී පොලාර්ඞ් නැවත දඩුවම් පහරක් සාර්ථක කරගැනීම හේතුවෙනි. එහෙත් ඊට මිනිත්තු 3 කට පසුව නායක ක්‍රෙග් ලොඞ්ලෝ විසින් සාර්ථක කරගනු ලැබූ දඩුවම් පහරකින් ස්කොට්ලන්තය ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

තරගයේ 33 වැනි මිනිත්තුවේදී දකුණු අපි‍්‍රකානු පිලේ ජෙනී ඩුප්ලෙසිස් සිය උරහිසෙන් කළ නීතිවිරෝධී තල්ලූ කිරීමක් නිසා කහ කාඞ්පතින් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමට සිදුවීමෙන් කී‍්‍රඩකයන් 14 දෙනකුට සීමා වූ ස්පි‍්‍රංග්බොක්ස්ලාට තරමක් පසුබෑමට සිදුවිය. එහෙත් ඉන් නොසැළුණු දකුණු අපි‍්‍රකානුවෝ වැඩි ජවයකින් යුතුව තරගයට අවතීර්ණ වූහ.

මිනිත්තු 4 කට පසුව ස්කොට්ලන්ත සීමා ඉරට මීටර 15 ක් වනතුරු කී‍්‍රඩකයන් රොත්ත පිටින්ම ඇදගෙන ගිය ස්පි‍්‍රංග්බොක්ස්ලාට දෙවැනි  උත්සාහක දිනුමක් අත්කරදීමට ජේ. පී. පීටර්සන්ට හැකිවිය. කිසිදු අපහසුවකින් තොරව එය ගෝලයක් බවට පත්කළ පොලාර්ඞ් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 20 දක්වා වැඩිකිරීමෙන් පළමු භාගයේ වාසිය එහෙම පිටින්ම ස්පි‍්‍රංග්බොක්ස්ලාට හිමිවූයේ ලකුණු 20-3 ක් ලෙසිනි.

දෙවැනි භාගයේ මුල සිටම වේගවත් කී‍්‍රඩා රටාවකට පිළිපන් ස්කොට්ලන්ත පිලේ නායක ලේඞ්ලෝ සාර්ථක කරගත් තවත් දඩුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දමාගත් අතර 48 වැනි මිනිත්තුවේදී ඩන්කන් වේයර් දුන් පන්දුව සුරැකිව ඩැහැගත් වින්ග් කී‍්‍රඩක ටොමී සේමර් තැබූ ස්කොට්ලන්තයේ පළමු උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ නායකයා සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 13-20 කින් ලකුණු පරතරය අඩු කරගත්තේ දකුණු අපි‍්‍රකානුවන්ගේ හද ගැස්ම තරමක් ඉහළ දමමිනි.

එසේ වුවත් 50 වැනි මිනිත්තුවේදී යළි කි‍්‍රයාත්මක වූ පොලාර්ඞ් ඉතා දක්ෂ ලෙස ඩ්‍රොප් ගෝලයක් ලබාගනිමින් ලකුණු 23-13 කින් ලකුණු පරතරය නැවත වැඩි කළේය.

ස්පි‍්‍රංග්බොක්ස්ලා හමුවේ ආක‍්‍රමණශීලී කී‍්‍රඩා රටාවක නිරතවන්නට ගිය ස්කොට්ලන්ත නායක ලේඞ්ලෝට කහ කාඞ් පතේ දඩුවමකට හසුවීමට සිදුවීමට සිදුවිය. තරගයේ 59 වැනි මිනිත්තුවේදී වේයර් සාර්ථක කරගත් දඩුවම් පහරින් පසුව නැවත කිසිදු ලකුණක් රැස් කිරීමට ස්කොට්ලන්තයට ඉඩ නොදුන් දකුණු අපි‍්‍රකානුවෝ ඉතිරි මිනිත්තු 20 දී ප‍්‍රතිවාදීන් ඇඳ බැඳ තබාගත් අතර ඒ කාලය තුල දඩුවම් පහර 2 කුත්, වින්ග් කී‍්‍රඩක බ‍්‍රයන් හබානා තැබූ අනගි උත්සාහක දිනුමෙනුත් සිය ලකුණු මල්ල තරකර ගත්හ.  

මෙවර තරගමාලාව අතරතුර ආබාධයකට ලක්ව නායකත්වය පමණක් නොව කී‍්‍රඩාවත් සහමුලින්ම අතහැර ආපසු ගෙදර ගිය දකුණු අපි‍්‍රකානු නායක ජින් ඩුප්ලෙසිස්ගේ පුරප්පාඩුව සාර්ථකව පිරවීමට නව නායක ෆොරී ඩුපී‍්‍රස්ට සමත් විය.

ඔහුට කදිම සහයක් ලැබුණේ තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ යොවුන් කී‍්‍රඩක පොලාර්ඞ්ගෙනි.

ස්පි‍්‍රංග්බොක්ස්ලා ඊයේ රැස් කළ ලකුණු 34 න් 19 කටම හිමිකම් කියමින් පුහුණුකරුගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කිරිමට හෙන්රි පොලාර්ඞ් සමත් විය.  තවමත් 21 හැවිරිදි පොලාර්ඞ් දකුණු අපි‍්‍රකාවේ අලූත් බලාපොරොත්තුවයි.


අදහස් (0)

නවකයා වගකීම අකුරටම ඉටුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.