Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පූමාස්ලා නැමිබියාවට රිදවති

පූමාස්ලා නැමිබියාවට රිදවති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මූලික වටයේ අවසන් තරගයේදී නැමීබියාවට ආජන්ටිනාව තරග කරද්දී ඔවුන් දිරිගන්වන්නට ලෝක පූජිත ඩියාගෝ මැරඩෝනා පැමිණ සිටියේ නැත. ඔහු එන බව කීවේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවොත් පමණි. එහෙත් පැමිණ සිටි කී‍්‍රඩාලෝලීන් 30,000 කට මැරඩෝනාගේ සුපුරුදු නර්තනය පිටියේ දී පෙන්වූ ආජන්ටිනාවේ පූමාස්ලා උත්සාහක දිනුම් 9 ක්ම තබමින් තරගය ජයගත්තේ ලකුණු 64-19 කිනි.

නවසීලන්තයට වඩා පහළින් ‘සී’ කාණ්ඩයේ දෙවැනි තැන රැකගෙන සිටින පූමාස්ලාට එක අතකින් ඊයේ නැමීබියාව සමග පැවැති තරගය ඊළග වටයට කදිම උත්තේජනයකි.

ඔවුන් ඊයේ තැබූ උත්සාහක දිනුම් සියල්ලම කී‍්‍රඩකයන් 9 දෙනකු බෙදාහදාගත් අතර ඒවා ගෝල බවට පත් කරද්දී සෙන්ටර් කී‍්‍රඩක ගොන්සාලේස් ඉග්ලේසියස් 4 ක් නිවැරැදි එල්ලයට ගැසූවේය. ඉතිරිය අනික් සෙන්ටර් කී‍්‍රඩක ජුවාන් පැබ්ලෝ සොසිනෝට පිරිනැමුවේ ඔහුටත් දස්කම් මුවහත් කරගැනීමේ ඉඩ ප‍්‍රස්ථාව දෙමිනි.

ඒ අතින් පූමාස්ලා හිතේ හැටියට එකිනෙකාගේ දස්කම් මුවහත් කරගත්හ.
ජෝර්ජියාවට එරෙහිව පසුගිය සතියේ දී ලකුණු 17-16 ක තියුණු පරාජයක් ලබා පරාජිතයන්ගේ ප‍්‍රසාද ලකුණක් හිමිකරගෙන සිටි නැමීබියාවට ඊයේ පූමාස්ලා හමුවේ උත්සාහක දිනුම් තුනක්ම වාර්තා කිරීමට ලැබීමත් සතුටක් විය.

12 වැනි මිනිත්තුවේ දී වින්ග් කී‍්‍රඩක ජොහාන් ට්‍රොම්ප් එය තැබුවේ ඊට මිනිත්තු දෙකකට පෙර ඔවුන්ගේ සෙන්ටර් කී‍්‍රඩක ජේ.සී.ගේ‍්‍රලයින් කහකාඞ් පතින් දඩුවම් ලබා පිටියෙන් ඉවත්ව සිටි මොහොතේදිය. ඒ වනවිටත් උත්සාහක දිනුමකට හිමිකම් කියා සිටි ආජන්ටිනාවේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ජුවාන් මාටින් හර්නැන්ඩස් සිය උරහිසෙන් අඩි ගණනාවක් ඈතට වැරෙන් තල්ලූ කොට හැරීම නිසා  ගේ‍්‍රලයින්ට දඬුවම් කෙරිණ. ට්‍රොම්ප්ගේ උත්සාහක දිනුම තෙනුස් කොට්සේ සාර්ථකව ගෝලයක් බවට පත්කරද්දී ලකුණු පුවරුව කියැවුණේ 10-7 ක් ලෙස ආජන්ටිනාවට පෙරමුණ දෙමිනි.

ඉන් අනතුරුව තවත් උත්සාහක දිනුම් 4 ක්ම තබා පළමු භාගය නිමාවනවිට ලකුණු 36-7 කින් ඉදිරියට යනතුරුම පූමාස්ලා ආපසු හැරී බැලූවේ නැත. වින්ග් කී‍්‍රඩක මාටියස් මොරොනි 18 වැනි මිනිත්තුවේදිත්, වින්ග් කී‍්‍රඩක හොරේසියෝ අගුලෝ 23 වැනි මිිනිත්තුවේදිත්, ෆකුන්ඩෝ ඉසා 35 වැනි මිනිත්තුවේදිත් පූමාස්ලාගේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමද්දී පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී නුගේරා පාස් තැබූ උත්සාහක දිනුමත් සමග ඉග්ලේසියස් ගෝල් කණුවට ඉහළින් පන්දුව යැවූ අවස්ථා ගණන 4 ක් විය. ඔහුට වැරැදුණේ ඉසාගේ උත්සාහක දිනුම පමණි.

දෙවැනි භාගය ඊට දෙවැනි වූයේ නැත. එහෙත් දෙවැනි භාගයේ තරගය ආරම්භවී මිනිත්තු පහකට පසුව පූමාස්ලා විමතියට පත් කරමින් උත්සාහක දිනුමක් තැබීමට ගේ‍්‍රලයින් සමත්වූ අතර කොට්සේ එය නිවැරැුදිව ගෝලයක් බවට පත්කරද්දී කී‍්‍රඩාලෝලීන්ගේ ඒකපාර්ශ්වික තරගයක් බලා සිටීමෙන් ඇතිවූ උදාසීනත්වය මඳක් තුනීවිය.

මේ කළබගෑනියෙන් පසුව පූමාස්ලාගේ කල්පනාව වූයේ දෙවැනි භාගයට නැමීබියානු පිල පැමිණියේ නිසැකවම වෙනස් තරග සැලසුමකින් යුතුව බවකි.

ඔවුන් අර අඳින්නේ කුමකටදැයි අමුතුවෙන් කියාපාන්නට දෙයක් පූමාස්ලාට තිබුණේ නැත. මේ කළබගෑනියෙන් උණුසුම් වූ කී‍්‍රඩාලෝලීන් සේම පූමාස්ලාද ඊළග මිනිත්තු කිහිපයේ කී‍්‍රඩා කළේ දැඩි සටන්කාමීත්වයෙනි.

නැමිබියානු උත්සාහක දිනුමෙන් මිනිත්තු තුනකට පසුව මාටියස් අල්මනෝ විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් සිය කී‍්‍රඩකයන්ගේ දිරිය වැඩි කළ අතර සොසිනෝ එය ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු 43-14 කින් ඉදිරියට යාමට පූමාස්ලා සමත්වූහ.

ඒ වනවිටත් දෙපිල අතර සෑහෙන ලකුණු පරතරයක් තිබුණත් නැමීබියානුවන් තඹ සතේකටවත් විශ්වාස කළ නොහැකි බව දන්නා නිසාම පූමාස්ලා කී‍්‍රඩා කලේ වැඩි පරිස්සෙමිනි. පූමාස්ලාගේ සැකය දෙගුණ තෙගුණ කරමින් ඊට මිනිත්තු දෙකකට පසුව කොට්සේ පිරිනැමූ පන්දුව ඩැහැගෙන සිය දෙවැනි උත්සාහක දිනුම වෙත දිවගිය ට්‍රොම්ප් ප‍්‍රතිවාදී සීමා ඉරට ඔන්න මෙන්න කියා තිබියදී කකුල් මාට්ටුවක් දමා බිම පෙරළා ගැනීමට ෆුල්බෑක් කී‍්‍රඩක ගොන්සාලේස් අමොරෝසිනෝ අසමත්වූවානම්  තත්ත්වය පූමාස්ලාට බැ?රුම් වීමට ඉඩ තිබිණි.

එහෙත් ඒ අතරතුර කොට්සේට දැමූ භයංකාර කකුල් මාට්ටුව නිසා අතිරේක කී‍්‍රඩක ලෙස සිටි මාසිලෝ බොස්ච් කහ කාඞ් පතෙන් සංග‍්‍රහ ලබා පිටියෙන් ඉවත්වීමෙන් කී‍්‍රඩකයන් ගණන 14 ට බැසීම නම් පූමාස්ලාගේ සිත් දෙගිඩියාවට පත්කළ එකකි.
 
කෙසේ හෝ තත්ත්වය මැනවින් පාලනය කරගත් පූමාස්ලා 63 වැනි මිනිත්තුවේ දී යළි උත්සාහක දිනුම් දඩයම පටන් ගත්හ. එය නතරවූයේ ඊළග මිනිත්තු දහයේ දී උත්සාහක දිනුම් තුනක්ම තැබීමෙන් පසුවය. එය ආරම්භ කළේ අතිරේක කී‍්‍රඩක ලෙනාර්ඩෝ සෙනටෝර්ය. ඊළගට 68වැනි මිනිත්තුවේ දී ජුලියන් මොන්ටොයෝ උත්සාහක දිනුමක් තැබුවේය. පූමාස්ලාට 9 වැනි උත්සහක දිනුම 73 වැනි මිනිත්තුවේ දී ගෙන දුන්නේ අතිරේක කී‍්‍රඩක තෝමස් කුබේලිය.

ඊට මිනිත්තු දෙකකට පසුව නැමීබියානු අතිරේක කී‍්‍රඩක ටිනස් ඩුප්ලෙසිස් නීතිවිරෝධි කී‍්‍රඩා රටාව නිසා තරග තීරකයාගේ උදහසට ලක්ව පිටියෙන් ඉවත්වූවත් අන්තිම මොහොතේ සිය තුන්වැනි උත්සාහක දිනුමත් තැබීමට නැමීබියාව සමත්වීම කැපී පෙනුණි. අතිරේක කී‍්‍රඩක එව්ජින් ජැන්ට්ජෙස් තැබූ එම උත්සාහක දිනුම තරගයෙන් පරාජයට පත්වූවත් නැමීබියානුවන්ට ‘ලොකු දෙයක්‘ විය.


අදහස් (0)

පූමාස්ලා නැමිබියාවට රිදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.