Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වේගය තිබුණාට මදි, සිහිකල්පනාවත් ඕනෑ - කළුවිතාරණ

වේගය තිබුණාට මදි, සිහිකල්පනාවත් ඕනෑ - කළුවිතාරණ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට සිට පැවැත්වෙන එක්දින තරගාවලියේදී අධි විශ්වාසයකින් තොරව පිටියට පිවිසෙන මෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා සිය කී‍්‍රඩකයන්ට අවවාද කරයි.

තරග දෙකකින් සමන්විත වූ නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. එහෙත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනකු වන සුරංග ලක්මාල් සහ ශමින්ද එරංග දෙදෙනාත් සමගින් සීකුගේ ප‍්‍රසන්නද ශී‍්‍ර ලංකා ‘ඒ’ එක්දින සංචිතයට ඇතළත් කරනු ලබ ඇත්තේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහාය.

1990 දශකය මැද භාගයේදී, සනත් ජයසූරිය සමග එක්ව ලෝකයේ එක්දින කි‍්‍රකට් කී‍්‍රඩාව උඩු යටිකුරු කළ රොමේෂ් කළුවිතාරණ පවසන්නේ එක්දින තරගාවලියේදී තම කණ්ඩායමට නවසීලන්ත කී‍්‍රඩකයන් පරාජය කළ හැකි නමුත් තරගයේ පවතින තත්ත්වය පිළිබඳව සැලකිළිමත් විය යුතු බවයි.

”අපට ගොඩාක් දක්‍ෂ කී‍්‍රඩකයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් බෙහෝ දෙනෙක් නිදහසේ පහර කරා යන පිතිකරුවන්”
”අප නිතරම ඔවුන්ට කියන්නේ ඉනිමක් ගොඩ නංවන ආකාරය ගැනයි.....ඒත් ඔවුන් තරමක් වේගයෙන් ලකුණු රැස්කරන්න පටන් ගත්තාම තමන්ට පන්දු 300 කට මුහුණ දෙන්න වෙනවා කියන දේ අමතක වෙනවා” යයි කළුවිතාරණ මහතා පැවසීය.
”වේගයෙන් ලකුණු ලබාගත්තාට කමක් නෑ. ඒත් තරගයේ තත්ත්වය ගැන සිහි කල්පනාවෙන් ඉන්න  ඕනෑ,

”පන්දු 300 කට මුහුණ දෙනාවා කියන්නේ විස්සයි/20 තරගයකට වඩා හුගක් අසීරු දෙයක්. ඒ නිසා පළමු පිතිකරුවන් හය හත් දෙනා අඩුතරමේ පන්දු 260 ක් වත් යනතුරු පිටියේ රැඳී සිටින්න  ඕනෑ..මේ  තරගාවලියෙදි ඔවුන්ගෙන් මා බලාපොරොත්තු වන්නේ ඒ දෙයයි” යයිද කළුවිතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඇතැම් පිතිකරුවන් පමණට වඩා නිර්භීත වීමට යාමේදී තමන්ගේ කඩුලූ පූජා කරන්නන් බවට පත්වන්නේද යන්න විමසූ අවස්ථාවේදී කළුවිතාරණ මහතා මෙසේ පැවසීය. ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, නායක දිනේෂ් චන්දිමාල්, මැද පෙළ පිතිකරුවන් වන ඇන්ජලෝ පෙරේරා, අෂාන් පි‍්‍රයන්ජන් මෙන්ම කිත්රුවන් විතානගේත් නිදහසේ ලකුණු රැස්කරන්නෝ ලෙස නමක් දිනා සිටිති.

‘පහර දෙන්න’ යි කී පමණනින්  ඕනෑම පන්දු යවන්නන් සමූහයක් හමුවේ අභීතව සිය පිති හැසිරවීමට මෙම පිතිකරුවෝ සියලූ දෙනාම සමත් වෙති. එසේ වුවත් නායක දිනේෂ් චන්දිමාල් නම් තරමක් ඉක්මනින් ඉගෙන ගන්නා බවක් දිස්වෙයි. තමන්ගේ තරුණ උරහිස් මත මහ බරක් පැටවී ඇතිවග චන්දිමාල් මේ වන විටත් තේරුම් ගෙන සිටී.

”අපට හොඳ එක්දින කණ්ඩායමක් සිටිනවා. වරකට එකක් බැගින් ගනිමින් තරගාවලිය ජයගන්නයි අපේ බලාපොරොත්තුව” යයි දිනේෂ් චන්දිමාල් අද සන්ධ්‍යාවේ මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.
”සුරංග ලක්මාල් සහ ශමින්ද එරංග එක්දින සංචිතයට එක්වී සිටින්නේ ජාතික කණ්ඩායමට තරග නැනි නිසයි.”

”ඒක එක අතකින් හොඳයි. එයින් ඔවුන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා. අපි මේ වන විට පුහුණු සැසි දෙකක්ම තිබ්බා. ඔවුන් ඉතාමත් හොඳින් අපේ සංචිතය හා මුහු වුණා” යයිද චන්දිමාල් පැවසීය. සුපුරුදු පරිදි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සිය අවසන් 11 දෙනා තෝරා ගන්නේ තරගයට පෙරදා උදෑසනය. එහෙත් පිටියේ අන්ත දෙකින්ම නව පන්දු දෙකක් යොදා ගන්නා හෙයින් එක්දින තරගාවලියේදී වේග පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

”ජාතික සංචිතයේ අවශ්‍යතා සඳහා අපි වේග පන්දු යවන්නන්ගේ සංචිතයක් හදන්නත්  ඕනෑ” යයිද පුහුණුකරු කළුවිතාරණ මහතාත් පැවසීය. පන්දුව දෝලනය වන තත්ත්වයන් යටතේ ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පහසුවෙන් දමනය කළ හැකි බව පෙනෙන්නට තිබේ.

කිසිදු ඉවක් බවක් නැතිව, පන්දුව දුටු පමණින් පිත්ත දැමීමට යාම නිසා පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරු මතදීත් කුසල් ජනිත් පෙරේරා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අවස්ථා බොහොමයකි. ”පන්දුව දෝලනය වන තත්ත්වයන් යටතේ හැමෝටම හොඳින් පහර දෙන්න බෑ. ඒක ඇත්ත”

”ඒත් මේ වගේ තරග වලින් අප බලාපොරොත්තු වන්නේ පිතිකරුවන් ඔවුන්ගේ දුර්වලතා තේරුම් අරගෙන ඒවා හදා ගැනීමයි. අපි පුහුණුවීම් කරන අවස්ථාවලදීත් ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරලා තියෙනවා” ”කොහොම වුණත් මේ තරගාවලිය ප‍්‍රයෝජනයට අරන් ජාතික කණ්ඩායම තුළ තමන්ට හිමි ස්ථානය කුසල් ජනිත් නැවතත් දිනා ගනීවි කියලා මට විශ්වාසයි” යයිද කළුවිතාරණ මහතා පැවසීය.

නවසීලන්ත පිලේ නායක ටොම් ලේතම්, තවත් කී‍්‍රඩකයන් තිදෙනකු සමග ජාතික කණ්ඩායමට එක්වීම සඳහා කොළඹ බලා පිටත්ව යාම නිසා එක්දින තරගාවලියේදී නවසීලන්ත පිල මෙහෙයවීමේ වගකීම ඇන්ඩෲ එලිස්ට පැවරී තිබේ. බංග්ලාදේශයේදී පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගි වීමට පෙර, ආසියාවේ පවතින දැඩි සූර්ය තාපයට සහ දහදිය දැමීමට හුරුවීම පිණිස නවසීලන්ත ජාතික කණ්ඩායම මේ දිනවල කොළඹදී පුහුණුවීම් කරමින් සිටී. ඔවුන්ට එක්වීම සඳහා ඩග් බ්‍රේස්වෙල්, ඉෂ් සෝදි සහ වේග පන්දු යවන කී‍්‍රඩක මාක් ගිලෙස්පිද කොළඹට ගොස් සිටිති.

ඒ වෙනුවට ග‍්‍රාන්ට් එළියට්, අනාරු කිචන් සහ රොනී හීරා නවසීලන්ත ‘ඒ’ එක්දින සංචිතයට එක්වූහ. අනාරු කිචන් ඉදිරි පෙළ පිතිකරුවකු වන අතර රොනී හීරා වමතින් දග පන්දු යවන්නෙකි. ග‍්‍රාන්ට් එලියට් තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස සැලකේ.
කෙසේ වෙතත් හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකු වන බ්‍රෙන්ඩන් බ්‍රේස්වෙල්ගේ පුතණුවන් වන ඩග් බ්‍රේස්වෙල් ‘ඒ’ පිලෙන් ඉවත්ව යාම ඔවුනට දැඩි පාඩුවක් වනු නිසැකය. දඹුල්ලේදී පැවැති ටෙස්ට් තරගයේ සිවුවැනි ඉනිමේදී ඩග් බ්‍රේස්වෙල් පන්දු 79 කින් ශතකයක් ලබාගත්තේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

එහි විශේෂත්වය වන්නේ ඩග් නොදැවී ලකුණු 104 ක් ලබාගත් තණතීරුව මතදීම ශී‍්‍ර ලංකා ‘ඒ’ දග පන්දු යවන්නන් විසින්  ඕවර 60 ක් තුළදී කඩුලූ 10 ක්  දවාගැනීමයි. ”ටෙස්ට් තරගාවලිය පරාජය වුණත් එක්දින තරගාවලියේදී අපට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒ නිසා අප එක්දින තරගාවලිය පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා” යයි නවසීලන්ත ‘ඒ’ එක්දින පිලේ නායක ඇන්ඩෲ එලිස් පැවසීය.

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (1)

වේගය තිබුණාට මදි, සිහිකල්පනාවත් ඕනෑ - කළුවිතාරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.