Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙරීනා 20 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යයි

සෙරීනා 20 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යයි

Dilrukshi - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘ලා ස්ටේඞ් රෝලන්ඞ් ගැරොස්‘ නොඑසේනම් ‘රෝලන්ඞ් ගැරොස්’ කී‍්‍රඩාංගණය අවට ප‍්‍රදේශය මේ දිනවල සැණකෙළි සිරියක් ගෙන ඇත.

ලොව නන්දෙසින් පැමිණි සංචාරකයන්ගෙන් මෙන්ම ක‍්‍රීඩාලෝලින්ගෙන්ද මුළු පැරිස් නුවරම පිරී ඉතිරී ගොසිනි. අන්තර් ජාතික ටෙනිස් පිටියේ නොම්මර එකේ තරගාවලියක් ලෙස සැළකෙන ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය මේ දිනවල එහි පැවැත්වෙමින් තිබීම ඊට හේතුවය.

ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය සැළකෙන්නේ ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක්‘ ලෙසිනි. අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය මෙහෙයවන මෙවැනි ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි ඇත්තේ 4 ක් පමණි. ඔස්ටේ‍්‍රලියානු විවෘත ශූරතාවලිය, අමෙරිකානු විවෘත ශූරතාවලිය, විම්බල්ඩන් ශූරතාවලිය අනෙක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා තුනයි.එබැවින් කවදත් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියකට ලෝක අවධානය අඩු නැතිව ලැබේ.

ලොව සුපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසකටම අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් උරුම කරදුන් මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය දැන් එහි අවසන් අදියරට එළැඹී ඇත්තේය.දුක සහ සතුට අඩු වැඩි නැතිව පැතිරී ගිය මේ

ශූරතාවලියේ කාන්තා තරග ඉසව්වේ දී පසුගිය වසරේ ශූරිය වූ මාරියා ෂරපෝවා, වීනස් විලියම්ස්, කැරොලින් වොස්නියැකි, සමන්තා ස්ටෝ්සර්, ෆ්ලේවියා පැනේටා, පෙට‍්‍ර ක්විටෝවා, ඇතුළු ඉහළ මට්ටමේ ක‍්‍රීඩිකාවන් රැසකටද, පිරිමි තරග ඉසව්වේ දී රොජර් ෆෙඩරර්, ඬේවිඞ් ෆෙරර් වැනි සුපිරි ක‍්‍රීඩකයන්ටද පරාජයේ ඉරණමකට මුහුණ දී ආපසු ගමරට බලා යන්නට සිදුවිය. එහෙත් අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්, එංගලන්තයේ ඇන්ඩි මරේ, ප‍්‍රංශයේ විල්ෆ‍්‍රඞ් සොන්ගා, ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික්, ස්විට්සර්ලන්තයේ ස්ටෑන් වර්වින්කා බලාපොරොත්තු සහගතව තවමත් ශූරතාවලියේ රැඳී සිටිති.

කාගෙත් වැඩි අවධානය යොමුවී ඇත්තේ සෙනසුරදා (හෙට) පැවැත්වෙන කාන්තා කේවල අවසන් තරගය පිළිබඳවය.

ඊයේ (4) පැවැති කාන්තා කේවල අවසන් පූර්ව තරග වටයේ දි ස්විට්සර්ලන්තයේ ටිමියා බැක්සින්සිකිට එරෙහිව තරග වට 2-1ක විස්මිත ජයක් වාර්තා කළ සෙරීනාද, සර්බියාවේ ඇනා ඉවනෝවික් තරග වට 2-0කින් පරාජය කළ චෙක් රාජ්‍යයේ ලූසී සෆරෝවාද අවසන් මහ තරගයට පිවිස සිටිති. කාන්තා කේවල අවසන් මහා තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට (6) පස්වරු 6.30 ට ඇරැඹෙයි.

රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේ අවසන් මහා තරගයකට සෙරීනා පිවිසියේ සිවුවැනි වතාවටය. මෙය ඇගේ 24 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගය ද වේ. ඒ අතින් ලෝක ටෙනිස් පිටියේ ශ්‍රේණිගත කිරීමේ අංක 13 සිටින කෝඩුකාර ලූසී සෆරෝවා මේ සහභාගි වන්නේ ඇගේ පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයටය. එබැවින් හෙට පැවැත්වෙන තරගය මේ දක්වා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළු 19 ක් අත්පත් කරගත් සෙරීනාට තරගයක් නැති තරගයක් ගානය.

එසේ වුවත් සෙරීනා පසුවන්නේ සම්පූර්ණ සුවයෙන් නොවේ. තරගාවලිය ආරම්භයේ සිටම තරමක අසනීප ගතියකින් සිටින සෙරීනා තුන්වැනි වටයෙන් පසුව උණ වැළඳී තිබිණ. එහෙත් ටෙනිස් පිටියේ අයෝමය ගැහැණියක වන සෙරීනා සිය 20 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව හඹා යාමට අදිටන් කරගෙන සිටින්නීය.

මේ අතර පිරිමි කේවල තරග ඉසව්වේ ආධිපත්‍ය පතුරුවමින් සිටින ප‍්‍රංශයේ ජෝ විල්ෆ‍්‍රඞ් සොන්ගා සහ ස්විට්සර්ලන්තයේ ස්ටෑන් වර්වින්කා අවසන් මහා තරගයේ ස්ථානයක් සොයා අද (5) ශ‍්‍රී ලංකා වේලාවෙන්  පස්වරු 4.30 ට තරග බිමට පිවිසෙති.

අංක එකේ ක‍්‍රීඩක නොවැක් ජොකෝවික් හා අංක තුනේ සිටින ඇන්ඩි මරේ අතර අවසන් පූර්ව තරගයත් අද ශ‍්‍රී ලංකා වේලාවෙන්  පස්වරු 7.00 ට පැවැත්වීමට නියමිතය.

රෝලන්ඞ් ගැරෝස්  ටෙනිස් පිටියේ කාන්තා තරගවලට කවදත් වැඩි ආකර්ශනයක් හිමිවූවත් පිරිමි තරගවලට ඇති ඉල්ලූම ද එතරම් නරක නැත. විශේෂයෙන් මරේ, ජොකෝවික් වැනි සුපිරි ක‍්‍රීඩකයන්ගේ දස්කම්වල සජීවි සාක්ෂිකරුවන් බවට පත්වීමට බොහෝ දෙනකු නොඉවසිල්ලෙන් යුතුව බලා සිටිති.

ලෝක ටෙනිස් ක්ෂේත‍්‍රයේ වැඩිපුර කතාබහට ලක්වන රෝලන්ඞ් ගැරෝස් පිටියට ඒ නම තබා ඇත්තේ පළමු ලෝක මහා යුද්ධයේ වීරයකු වූ ප‍්‍රංශයේ පුරෝගාමී ගුවන් නියමු රෝලන්ඞ් ගැරෝස් සිහිවීමටය.
ප‍්‍රහාරක ගුවන්යානා නියමුවකු ලෙස නම් දරා සිටි රෝලන්ඞ් ගැරෝස් ගුවන්යානාවලට සවිකොට ඇති ඉදිරියට වෙඩිතබන මැෂින් තුවක්කුවේ නිර්මාතෘ වරයාය.

හෙතෙම පළමුවැනි ලෝක යුද්ධයේ දී වීරයකු බවට පත්වූයේ සතුරු ගුවන්යානා පහක් වෙඩි තබා  බිමට හෙලූ පළමු ගුවන් නියමුවා වූ බැවිනි. ඔහු 1918 දී ජීවිතක්ෂයට පත්වූයේ ගුවන් මෙහෙයුමක් අතරතුර එල්ලවූ ප‍්‍රහාරයකිනි. හෙක්ටයාර් 8.5 ක භූමි ප‍්‍රමාණයක ඉදිකොට ඇති රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් සංකීර්ණය, ටෙනිස් පිටි කිහිපයකින් හා වෙළෙඳ සංකීර්ණයකින් සමන්විත ටෙනිස් ක‍්‍රීඩාවටම වෙන්වූ සුපිරි මට්ටමේ ක‍්‍රීඩා සංකීර්ණයකි.

 

 

 


අදහස් (0)

සෙරීනා 20 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.